Divaina - කරපටියා කියන අලියා වන නිලධාරියා පාගා මැරුවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


  kara
 
 හූරිගස්‌වැව - ඒ. කරුණාතිලක
 
අලියා බෙහෙත් පෙට්‌ටිවලට ගහන ශබ්දය ඇසී බලනවිට අලියා නියාමකවරයා බිම දාගෙන ඉන්නවා දැක්‌කා. මා අත තිබුණු නිර්වින්දන බෙහෙත අලියාට විද්දා" වේදනාවෙන් කෑ ගසමින් සිටි ඔහුව අපි සියලු දෙනා එක්‌ව රෝහල් ගත කළා යෑයි නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ අඩවි සහකාර විඡේපාල මොහොට්‌ටාලලාගේ මංජුල විඡේපාල (40) මහතා පැවැසීය.
 
 තුවාල ලබා සිටි අලියකුට ප්‍රතිකාර කිරීමට යැමේදී වන අලි පහරදීමකට ලක්‌ව ඉකුත් දිනක මියගිය නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට අනුයුක්‌තව රාජකාරි කළ මීගලෑව පොතාන සියඹලෑව පදිංචිව සිටි වන සත්ත්ව නියාමක බස්‌නායක මුදියන්සේලාගේ චමින්ද බස්‌නායකගේ හදිසි මරණ පරීක්‌ෂණයේදී ඔහු මෙම අදහස්‌ පැවැසීය.
 
 මේ පිළිබඳ හදිසි මරණ පරීක්‌ෂණය බලදොර කෝරළේ හදිසි මරණ පරීක්‌ෂක ධර්මසේන රණසිංහ මහතා ඉදිරියේ නිකවැරටිය රෝහලේදී පැවැත්විණි.
 
 එහිදී වැඩිදුර සාක්‌ෂි දෙමින් අඩවි සහකාර විඡේපාල මහතා මෙසේද කීය.
 
 මා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්‌තව සේවය කරනවා. මහව, පොල්කටුවාවත්ත කියන වැව් ඉස්‌මත්තේ "කරපටියා" කියන අලියා තුවාල ලබා ඉන්නවා කියලා මහව බීට්‌ටු කාර්යාලයෙන් දැනුම් දුන්නා. අපි හවස දෙකට විතර පශු වෛද්‍ය ඉසුරු මහතා මියගිය බස්‌නායක ඇතුළු කණ්‌ඩායමක්‌ බෙහෙත් ද්‍රව්‍යයත් අරගෙන මහවට ගියා. නිර්වින්දන බෙහෙත් සූදානම් කරගෙන අලියා ඉන්න ඉසව්වට ගියා. නිර්වින්දන බෙහෙත දුර සිට විද්දා. අලියා කැලය කඩාගෙන බිඳගෙන ඇතුළට දිව්වා. අලියා නිර්වින්දනය වී නැති බව අපට තේරුම් ගියා.
 
 දෙවන නිර්වින්දන බෙහෙත විදීමට සූදානම් වන විට අලියා අනෙක්‌ පැත්තට හැරුණා. අලියා එළවන බව මා දැන ගත් නිසා අනිත් අයට දුවන්න කියලා කෑ ගැසුවා අනෙක්‌ පැත්තේ සිටි බස්‌නායක ඇතුළු කට්‌ටිය එක පෙළට දිව්වා. සමන් හා මං අනෙක්‌ පැත්තට දිව්වා. බස්‌නායක අතේ ගිනි අවිය හා පතොරම් තිබුණා. අලියා බෙහෙත් පෙට්‌ටිවලට ගහන ශබ්දය ඇහුණා. මං ඒ දෙසට දුවගෙන යනවිට දුර සිටම දැක්‌කා අලියා කවුරු හෝ බිම දාගෙන ඉන්නවා කියලා මං අතේ තිබුණ නිර්වින්දන බෙහෙත් දුර සිටම අලියාට විද්දා.
 
 බස්‌නායක මහතා අලියාගේ පහර කෑමට ලක්‌වෙලා කියලා දැනගත්තා. අමාරුවෙන් කෙඳිරිගාමින් සිටි බස්‌නායක අපි සියලු දෙනා එක්‌වෙලා මහව රෝහලට ගෙන ගියා. ඒ එන අතරතුර ඔහු ඉන්න බැහැ පපුව රිදෙනවා කියලා වේදනාවෙන් කෑ ගැසුවා ටික දුරක්‌ එනවිට ඔහු නිහඬ වුණා. ඔහු පරීක්‌ෂා කළ මහව රෝහලේ වෛද්‍යවරුන් ඔහු මියගොස්‌ ඇති බව කීවා.
 
 මියගිය අයගේ බිරිඳ වන ගුණදාසගේ ශානිකා උදය කුමාරි (32) මහත්මිය සාක්‌ෂි දෙමින්,
 
 මියගොස්‌ සිටින්නේ මගේ ස්‌වාමියා. අපි විවාහ වෙල දැනට අවුරුදු 15 ක්‌ විතර වෙනවා. මා දැනට ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක්‌ ලෙස සේවය කරනවා. අපිට වයස අවුරුදු නමයේ හා අවුරුදු හතරේ දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. සිද්ධිය වුණු දවසේ මහත්තයා වැඩට යන්න නිකවැරටියට ගියා. මං ලොකු දුව පාසල් යවලා, පොඩි දුව පෙර පාසලට දමලා වැඩට ගියා. හවස 2.00 ට විතර මහත්තයා කතා කරලා ඇහුවා පොඩි දුව පෙර පාසලෙන් ගත්තද කියලත්.
 
 මං හවස පහට විතර වැඩ ඇරිලා ගෙදර ආවා. තාත්තා ඇහුවා මහත්තයා කතා කළා ද කියලා මං කීවා දවල් නම් කතා කළා කියලා. පසුව තාත්තා මහවට ගිහින් ඇවිත් කීවා මගේ මහත්තයට කරදරයක්‌ වෙලා කියලා. පසුව මා නිකවැරටිය රෝහලට ඇවිත් මහත්තයගෙ දේහය හඳුනා ගත්තා.
 
 මෙහිදී පශු වෛද්‍ය ඉසුරු කෝට්‌ටගේ මහතාද මියගිය අයගේ පියාවන බස්‌නායක මුදියන්සේලාගේ කිරිමුදියන්සේ (68) යන අයද සාක්‌ෂි දුන්හ.
 
 මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදුකළ නිකවැරටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සුසන්ත රත්නායක මහතා මෙම මරණය වන අලියකු පහරදීමෙන් මරණකරුගේ පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක්‌ බවට වාර්තා කළේය.
 
 ඉදිරිපත් වූ සාක්‌ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම මරණය වන අලියකු පහරදීමෙන් සිදුවූ බවට හදිසි මරණ පරීක්‌ෂකවරයා තීන්දු කළේය.
 
 මහව පොලිසියේ පොලිස්‌ සැරයන් (25821) නරසිංහ මහතා සාක්‌ෂි මෙහෙයවීය.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles