Divaina - ලක්‍ෂ එකසිය විස්සක් වතුරේ...! - බෙන්තොට කඩොලාන කලාපය හා නැරැඹුම් මධ්‍යස්ථානය විනාශයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p17 2- වාණිජ පරමාර්ථ සඳහා කඩොලාන පරිසරය වනසනවා - බෙන්තොට බෝධිමළුව රජමහා විහාරාධිපති

- මේක ජාතික අපරාධයක් - බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති සරත් ආනන්ද මහතා

රුපියල් ලක්ෂ 120 ක් වැයකර 2005 වසරේ වැඩ නිමකර ඇතැයි කියන බෙන්තොට බෝධිමළුව කඩොලාන සංරක්ෂණය හා නැරැුඹුම් මධ්‍යස්ථානය මේ වන තුරුත් විවෘත කර ජනතා අයිතියට පත්කර නැතැයි ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

එවකට පැවති ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක කළ පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන සහ සම්පත් කළමනාකරණ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවා තිබිණි.

මේ වනවිට බෙන්තොට කඩොලාන පරිසර පද්ධතිය මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ ක‍්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවද ජනතාව පෙන්වා දෙති.

කඩොලාන ව්‍යාපෘතියේ නැරැුඹුම් වේදිකාවේ ලෑලි මේ වනවිට ජරාජීර්ණව දිරාපත්ව ගොස් ඇති අතර කැළයෙන් යටවී පවතී. වසර ගණනක් වසා තිබූ මෙම ව්‍යාපෘතියේ ගොඩනැඟිලි විනාශ වෙමින් පවතින බවද කියති.

බෙන්තොට කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානය පිළිසකර කර දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කර ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ලෙස ප‍්‍රදේශවාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

බෙන්තොට බෝධිමළුව රජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති වැයිහේනේ සුමනකිත්ති හිමි -

බෙන්තොට ගඟ දෙපස කඩොලාන පරිසර පද්ධතිය වාණිජ පරමාර්ථ හේතුවෙන් ශීඝ‍්‍රයෙන් විනාශ වී තිබෙනවා. හෝටල්, නිවාස ඉදිකිරීම වැනි කටයුතු නිසා ජනතාව කඩොලාන කපා විනාශ කිරීම පසුගිය කාලයේ විශාල වශයෙන් සිදුවුණා. දැනට අපේ විහාරස්ථානයට අයත් භූමි සීමාවේ පමණයි කඩොලාන ඉතිරිව තිබෙන්නේ.

අපේ රටට ආවේනික කඩොලාන වර්ග කිහිපයක් මෙහි තිබෙනවා. විශේෂයෙන්ම බෙන්තොට ගඟට ආවේනික වූ දිමිත්තා හා ඉලත්ති හා කොරළි විශේෂ මෙන්ම අඟුලූවන් විශේෂ කිහිපයක් මේ ස්ථානය අවට දක්නට ලැබෙනවා. එම මත්ස්‍යයන් ශීඝ‍්‍රයෙන් වඳවීමේ තර්ජනයට මුහුණදී සිටිනවා. මේ ව්‍යාපෘතිය තවම කිසිම ආයතනයකට පවරාදී නොමැති වීම කණගාටුවට කරුණක්. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ බෙන්තොට බෝධිමළුව කඩොලාන වැඩසටහන පිළිසකර කර ආදායම් ලබන වැඩපිළිවෙළක් ලෙස යොදා

ගන්නා ලෙසයි.

උතුරු බෙන්තොට කුඩියංගොඩ පදිංචි එච්. ඒ. ගුණතුංග මහතා (69)-

සුනාමි ආපදාවෙන් පසු ඊට ආසන්න කාලයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. අද වනතුරු ජනතා අයිතියට පැවරුවේ නැහැ. බෙන්තොට සංචාරක පුරයක් නිසා මෙම ව්‍යාපෘතිය ලෙහෙසියෙන්ම රටට විදේශ විනිමය ලබා ගන්නා මාර්ගයක් ලෙස සංවර්ධනය කළ හැකියි. මේ ව්‍යාපෘතිය දැන් වනගත වෙලා. ඉක්මන් වැඩපිළිවෙලක් නොකරන්නේ නම් සියල්ල දිරාපත් වී යනවා.

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති සරත් ආනන්ද මහතා -

වසර ගණනකට පෙර මෙම කඩොලාන ව්‍යාපෘතිය ඉදිකිරීම් කර තිබූ නමුත් ප‍්‍රාදේශීය සභාවට පවරා නැහැ. මෙම ව්‍යාපෘතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින එකක්. මෙය විනාශ වීමට අතහැර දැමීම ජාතික අපරාධයක්. මධ්‍යම රජය මැදිහත් වී මෙම ව්‍යාපෘතිය පිළිසකර කර ජනතා අයිතියට පැවරීම සඳහා කටයුතු කළ යුතුයි.

නියාගම - විල්සන් විජේසිංහ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles