ටෙනිස් බෝලයක් තුළ සඟවා හෙරොයින් ග්‍රෑම් 3.15 ක ප්‍රමාණයක් වැලිකඩ බන්ධනාගාර භූමිය තුළට විසිකිරීමේ චෝදනාවට වරදකාරිය කරනු ලැබූ 33 හැවිරිදි විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (11දා) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළාය.
2011 ජනවාරි 20 වැනිදා එකී චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබූ එච්. හිරුණි අල්විස් නමැති විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම විත්තිකාරිය වරදකාරිය බවට නිගමනය කළ විනිසුරුවරිය එම දඬුවම නියම කළාය.
දැඩි ආරක්ෂක විධි විධාන යොදා තිබියදීත් බන්ධනාගාරය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙහෙවින් භාවිත වීම කෙරෙහි අවධානය යොමු කළ බන්ධනාගාර බලධාරීන් බුද්ධි අංශ යොදවා මාස කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව එකී ජාවාරම ගැන අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව විත්තිකාරිය ප්‍රදේශයේ දරු දැරියන් ක්‍රීඩා කරන අවස්ථාවක් බලා ටෙනිස් බෝලයක් තුළට ඉතා සූක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතුළු කර පිටත සිට බන්ධනාගාර භූමියට විසිකළ අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා එක්ව දියත් කළ වැටලීමකදී බන්ධනාගාර බුද්ධි අංශ සමත්වී තිබිණි.
ඒ. ඡේ. ඒ. අබේනායක