Divaina - ගුවන් හමුදාවේ වීර වික්‍රමයන් යුද්ධයේ වීර වෘතාන්තයේ සටහන්ව තිබෙනවා... ලෝකයේ කිසිදු ගුවන් හමුදාවකට නැති යුද අත්දැකීම් ශ්‍රී ලාංකීය ගුවන් හමුදාවට තිබෙනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

mmmmmm500ගුවනින් කෙරෙන ත්‍රස්‌තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව වෙනත් කිසිදු ගුවන් හමුදාවකට නැති සුවිශේෂී අත්දැකීම් සම්භාරයක්‌ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 ගුවන් හමුදා නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ සහ පියාසර කැඩෙට්‌ නිලධාරීන් පාඨමාලාවන් හැදැරු ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැලඳවීමේ උත්සවයට එක්‌වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
 
 අද දවසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තරුණ නිලධාරීන් කණ්‌ඩායමක්‌ එක්‌ වෙනවා. මේ ආකාරයට අලුතින් එක්‌ වෙන නිලධාරීන් අතර කැඩෙට්‌ නිලධාරී පාඨමාලාවෙන් සමත්වුණු නිලධාරීනුත්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාව සම්පූර්ණ කළ නිලධාරීනුත්, කැඩෙට්‌ නිලධාරීන් පාඨමාලාව සම්පූර්ණ කරපු කාන්තා නිලධාරීනුත් ඉන්නවා. ඒ වගේම පියාසර පුහුණුව ලබා අවසන් කරපු නිලධාරීන්ට ගුවන් නියමු ලාංඡන පැලඳවීමත් මෙහිදී සිදු වෙනවා. මේ ආකාරයෙන් අද දවසේ මේ තරුණ නිලධාරීන් එක්‌වන්නේ අභිමානවත් ඉතිහාසයක්‌ තියෙන ගුවන් හමුදාවකට. මම හිතන්නෙ මේ හැමෝටම මීට අවුරුදු 10 කට කලින් 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය අවසන් වුණු දිනය මතක ඇති. ඒ ජයග්‍රහණය ලබන්න ශ්‍රී ලංකාවෙ ගුවන් හමුදාවෙ විශේෂ දායකත්වයක්‌ තිබුණා. පරාජය කරන්න බෑ කියපු කොටි සංවිධානය පරාජය කරපු ඒ අභිමානවත් ත්‍රිවිධ හමුදාවෙ ගුවන් අංශය තමයි මේ.
 
 ඔබ දන්නවා යුද හමුදාව ඉදිරියට ගමන් කරන්න ඉස්‌සරවෙලා හතුරා ඉන්න බල ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරල තමයි ඉදිරියට යන්නෙ. එහෙම කරන්නෙ ඉදිරියට යැමේදී පාබල හමුදාවට තියෙන බාධා පුළුවන් තරම් ඉවත් කරගන්න. යුද හමුදාවෙ කාලතුවක්‌කු වලිනුත් ඒ කාර්යයට උපකාර වෙනවා. නමුත් ඒ වගේ අවස්‌ථාවල ගුවන් හමුදාවෙ සහභාගිත්වය සුවිශේෂයි. කොටි ත්‍රස්‌තවාදය පරාජය කරන්න දියත් කරපු අවසාන වන්නි මෙහෙයුමේදී කොටි ත්‍රස්‌තවාදීන් කිලෝමීටර් ගණන් දිග මහා පස්‌ බැමි ඉදිකරලා යුද හමුදාවෙ ඉදිරි ගමනට බාධා කළා. ඒ අවස්‌ථාවේ ගුවන් හමුදාව ඒ පස්‌ බැමිවලට මුවාවෙලා ඉන්න ත්‍රස්‌තවාදීන්ට ගුවනින් පහර දීල යුද හමුදාවෙ ගමනට ඒ අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. ඒ ගමන වේගවත් වුණේ ගුවන් හමුදාවෙ උදව් නිසයි. ඒ විතරක්‌ නොවෙයි, වීඩියෝ කැමරා හයි කරපු නියමුවන් රහිත යානා ඒ කියන්නේ යූ. ඒ. වී. තාක්‍ෂණය යොදවල යුද හමුදාවේ කාලතුවක්‌කු බළකායටත් කොටි ඉලක්‌ක සොයාගන්න ගුවන් හමුදාව උපකාර කළා.
 
 මම හිතන්නේ ලෝකයේ ගුවන් හමුදා අතරින් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් කරල වැඩිම අත්දැකීම් සම්භාරයක්‌ ලබාගෙන තියෙන්නෙ මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ලෝකයේ කිසිම ත්‍රස්‌තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරක හැකියාවක්‌ තිබුණෙ නැහැ. ඉරාකයේ, සිරියාවෙ ලොකු භූමි ප්‍රමාණයක්‌ කාලයක්‌ අල්ලගෙන හිටපු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයටවත් ගුවන් ප්‍රහාරක හැකියාවක්‌ තිබුණෙ නැහැ. නමුත් කොටි සංවිධානයට විතරක්‌ ඒ හැකියාව තිබුණා. කොටි සංවිධානයේ ගුවන් ප්‍රහාර වලින් ලෝක ත්‍රස්‌තවාදයට අලුත් අත්දැකීමක්‌ එක්‌ කෙරුව. ඒ තමයි රාත්‍රි කාලයේ පමණක්‌, සෙමෙන්, පහතින් පියාසර කරන ඉතාමත්ම කුඩා ගුවන් යානා යොදවල බෝම්බ ප්‍රහාර දියත් කරන එක.
 
 ඒ කාලෙ මේ ප්‍රහාරක යානා වලට අපේ කට්‌ටිය කිව්වේ zකුරුම්බැට්‌ටිZ කියලා. නමුත් මේ කුරුම්බැට්‌ටි පාවිච්චි කරලා කොටි ගැහැව්වෙ කොළොන්නාව තෙල් පිරිපහදුවට, කෙළවරපිටිය තෙල් ටැංකි සංකීර්ණයට, කටුනායක ගුවන් හමුදා කඳවුර වගේ මර්මස්‌ථානවලට. හොඳ වෙලාවට ඒ ප්‍රහාර ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඒවා සාර්ථක වුණා නම් අපිට ඉතාමත්ම බරපතළ හානියක්‌ සිද්ධ වෙනවා. කොටි සංවිධානය මේ විදියට ප්‍රහාර දියත් කරන්න පටන් ගත්තම මුළු ලෝකයම තිගැස්‌සිලා හිටියා. කොටි ඒ කුඩා ගුවන් යානාවල ඇන්ජිමේ උෂ්ණත්වය පවා අපේ මිසයිලවලට අහුවෙන්නෙ නැති විදියට සකස්‌ කරලා තිබුණා. අපි නෙවෙයි, ලෝකයත් එහෙම දෙයක්‌ ගැන ඇහැව්වෙ මුල් වතාවටයි.
 
 සියදිවි නසා ගැනීමේ ජැකට්‌ටුව, මරාගෙන මැරෙන කුඩා බෝට්‌ටු ලෝක ත්‍රස්‌තවාදයට හඳුන්වා දුන්නෙ කොටි සංවිධානයයි. මේ කුඩා ගුවන් යානා භාවිත කරමින් රාත්‍රි මෙහෙයුම් කරන එකත් ඒ අය ලෝකෙට හඳුන්වාදීපු තවත් ත්‍රස්‌තවාදී උපක්‍රමයක්‌. මේ නිසා තමයි ලෝකෙ තියෙන භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය හැටියට ඇමෙරිකාවේ එµa. බී. අයි. සංවිධානය 2008 දී නිල වශයෙන්ම කොටි සංවිධානය නම් කෙරුවෙ. ඔය විදියට අපේ ගුවන් හමුදාවට, ගුවනින් සිදුකරන ත්‍රස්‌තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂී අත්දැකීම් තියෙනවා. අද ලෝකයේ ජාතික රාජ්‍යයන් එකිනෙක එක්‌ක යුද්ධ කරන ප්‍රවණතාව අඩුවෙලා තියෙනවා. ත්‍රස්‌තවාදය තමයි ලෝකය පුරාම යුදමය විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා තියෙන්නෙ. ඒ අංශයෙන් තමයි අපේ ත්‍රිවිධ හමුදාව අත්දැකීම් ලබලා තියෙන්නෙත්.
 
 දශක හතරකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ පැවති ත්‍රස්‌තවාදී යුද්ධයේදී ගුවන් හමුදාව සටනට එක්‌ වුණේ 1980 ගණන්වල ඉඳන්. ඒ ත්‍රස්‌තවාදීන් භූමි ප්‍රදේශ පාලනය කරන්න පටන් ගත්තට පස්‌සෙ. එතන ඉඳල යුද්ධය අවසන් වන තෙක්‌ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව අති විශිෂ්ට මෙහෙවරක්‌ ඉටු කළා. කොටින්ගෙ බල ප්‍රදේශය ඇතුළෙ තනි වුණු යුද හමුදා කඳවුරුවලට කොටි සියලු බලය යොදා පහර දෙනකොට ගුවන් හමුදා නියමුවන් ඉතාමත්ම බිහිසුණු අවදානමක්‌ අරගෙන ඒ කඳවුරු ඇතුළට හෙලිකොප්ටර් බස්‌සල, තුවාලකරුවන් ඉවත් කරල, ආයුධ සපයලා, හතුරටත් ගුවනින් ප්‍රහාර දීල, යුද හමුදාවට උපකාර වුණ ආකාරය ඒ යුද්ධයේ වීර වෘත්තාන්තයට එක්‌වෙලා ඉවරයි.
 
 ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නෙ යුද්ධයක්‌ පවතින අවස්‌ථාවල විතරක්‌ නොවෙයි, සාමය පවත්නා අවස්‌ථාවලත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක්‌ පැවරෙනවා. අපි කවුරුත් දන්නවා ගංවතුර වගේ ආපදාවන් අවස්‌ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂීය මෙහෙවර ගැන. ඒ කාර්යභාරය ගුවන් හමුදාවට මිස වෙන කාටවත් කරන්න බෑ. රටේ වෙරළ තීරයේ ආරක්‍ෂාව හා මුහුදු සීමාවට ඇතුළුවෙන විදේශීය යාත්‍රා සම්බන්ධ ආවේක්‍ෂණ කටයුතුවලටත් ගුවන් හමුදාව නිරන්තරයෙන්ම දායක වෙනවා. ඒ විතරක්‌ නෙවෙයි පරිසර ආරක්‍ෂණ වැඩසටහන් සඳහාත්, කැලෑ කපන්නන් සම්බන්ධයෙන් තොරතුරු රැස්‌ කිරීම සඳහාත් ගුවන් හමුදාවේ සහාය හිමිවෙනවා.
 
 අද දවසේ ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරි පත්‍ර ලබන්නේත්, ගුවන් නියමු ලාංඡන පලඳින්නෙත් මේ රටට අති විශිෂ්ට සේවාවක්‌ සිදු කළ ගුවන් හමුදාවෙ අනාගත උරුමක්‌කරුවන් වන තරුණ නිලධාරීනුයි. ඔබේ අනාගත රාජකාරී කටයුතු මේ ගුවන් හමුදාවෙ උරුමයට සරිලන ආකාරයට ඉටු කරනු ඇති බවට මගේ කිසි සැකයක්‌ නැහැ. ඔබ සැමට මම සුබ පතනවා.
 
 මෙම අවස්‌ථාවට නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්‌, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් උදේනි රාජපක්‍ෂ මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් හා සෙසු නිලයන් ද ආධුනික කෙඩෙට්‌ නිලධාරීන්, නිලධාරිනියන්, අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌වූහ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles