Divaina - ජාතිවාදය පරාජය කිරීමේ ජාතික වගකීම......

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමන් රාජපක්‍ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

mmmmaaaaa
ඡායාරූපය- නිශාන් .එස්. පි‍්‍රයන්ත

තිස් වසරක කුරිරු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය 2009 ජයග‍්‍රහණය කළ අප මේ ගෙවමින් ඉන්නේ යුද ජයග‍්‍රහණයේ දහවන වසරයි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විනාශ කර දමා වසර දහයක් ගිය තැන පෙර පැවති අවිනිශ්චිත බව, අස්ථාවර බව, අපේක්‍ෂා භංගත්වය යළිත් වරක් අප සමාජය තුළ හිස ඔසවමින් තිබේ. පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරය මේ ස`දහා ආසන්නම හේතුව බවට පත්විය. නමුත් බෝම්බ ප‍්‍රහාරයෙන් සති තුනක් ගිය තැන එකී අවිනිශ්චිතතාව, අස්ථාවරත්වය, බිය ජනක මානසිකත්වය, සැකය ප‍්‍රජාව තුළ ඒ ආකාරයෙන්ම පැවතීම විමසා බැලිය යුතු තත්ත්වයකි. බෝම්බ ප‍්‍රහාරයෙන් සති තුනක් ඉක්ම ගිය පසු ඉතා සැලසුම් සහගතව සිංහල ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් ඇතිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් ම විමසා බැලිය යුතු ය.

මෙරට ඉස්ලාම් අන්තවාදය දැනට වසර ගණනාවක සිට වර්ධනය වන්නකි. ඒ ස`දහා වර්තමාන ආණ්ඩුවේ ඇතැම් දෙනාගේ මෙන්ම පෙර පැවති ආණ්ඩුවේ ඇතැමුන්ගේ සහාය ද අඩු වැඩි වශයෙන් ලැබිණි. එහෙයින් මෙරට ඉස්ලාම් අන්තවාදය වූ කලී හුදෙකලාව වර්ධනය වූවක් නොවේ.

මේ වනවිට මෙම අන්තවාදය උච්ඡ අවස්ථාවකට පත්ව ඇත. නමුත් මෙය පහසුවෙන් පරාජය කළ නොහැකිය. එය ඉතා ඉවසීමෙන් හා උපක‍්‍රමශීලීව සිදුකළ යුත්තකි. එහෙයින් ජනාධිපතිතුමා පවසන පරිදි මෙම ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය දින දෙක තුනකින් අවසන් කළ නොහැකිය. දැනට ක‍්‍රියාත්මක මෙම මෙහෙයුම්වලින් ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදීන් හසුකරගත හැකිය. එමගින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා යම් මට්ටමකට පාලනය කිරීමට අවකාශ සැලසේ. එය මෙරට ආරක්‍ෂක අංශ ලැබූ ජයග‍්‍රහණයකි.

නමුත් ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය සැබෑ ලෙස පරාජය කිරීමට නම් අන්තවාදය පිළිබ`ද වූ මානසික ස්වභාවය මුස්ලිම් සමාජය වෙතින් දුරු කිරීමට සිදු වේ. ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සැබෑ ජයග‍්‍රහණය ඇත්තේ එතැනය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසුවාක් මෙන් මේ ස`දහා වසර කිහිපයක් ද ගතවීමට පිළිවන.

ඉස්ලාම් භක්තික සියලූ මුස්ලිම්වරු අන්තවාදී ත‍්‍රස්තවාදියෝ නොවෙති. සියලූ මුස්ලිම් ජාතිකයෝ අන්තවාදයට හෝ ත‍්‍රස්තවාදයට උපකාර නොකරති. ඉස්ලාම් අන්තවාදය හා ත‍්‍රස්තවාදය පෝෂණය කිරීම ස`දහා දායක වූවෝ මුස්ලිම්වරු පමණක්ම නොවෙති. එහෙයින් සියලූ මුස්ලිම් ජාතිකයන් දෙස ත‍්‍රස්තවාදීන් සේ සලකා සැකයෙන් බැලීම නොකළ යුතු පදනම් විරහිත ක‍්‍රියාවකි.

එමෙන්ම මෙම ත‍්‍රස්තවාදී ක‍්‍රියා ස`දහා කිසිදු සම්බන්ධයක් නැති මෙරට සාමාන්‍ය සාම්ප‍්‍රදායික මුස්ලිම් ප‍්‍රජාව පීඩාවට පත් කිරීම, ඔවුන්ට පහරදීම කිසිසේත් අනුමත කළ නොහැකිය. අප සියලූදෙනා මේ මොහොතේ කළ යුතු වන්නේ සැබෑ ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තයන් හසුකර ගැනීමට හා ඔවුන්ගේ ඉදිරි ත‍්‍රස්තවාදී කටයුතු වැළැක්වීමට ආරක්‍ෂක අංශවලට සහාය දැක්වීමයි.

මෙපරිද්දෙන් දිගින් දිගටම සිංහල, මුස්ලිම් ජාතීන් අතර ගැටුම් පැවතීම හා ඒවා වර්ධනය වීමට ඉඩ හැරීම අතිශය භයානක ප‍්‍රතිඵල අත්කර දෙනු ඇත. 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ දී 1980 දශකය ආරම්භ වන්නේ රටේ ලේ වැගිරීමකිනි. සිංහල හා දෙමළ ජාතීන් අතර ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් මු`ඵ රටම ලේ විලක් බවට පත්විය. ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිංහලයෝද දමිළයෝද අවාසනාවන්ත ලෙස මරණය වැළඳ ගත්හ. එමෙන්ම මේ දෙපාර්ශ්වයේම ජීවිත මෙන්ම කෝටි ගණනක් වටිනා දේපළ විනාශයට පත්විය. ඓතිහාසිකව සිංහල හා දෙමළ ජාතිකයින් අතර පැවති මිත‍්‍රත්වය, එකමුතුකම, බැ`දීම බි`ද වැටුණි. සිංහල දෙමළ ජාතීන් අතර අනවබෝධය උත්සන්න විය.

මේ ගැටුම් උපයෝගී කරගනිමින් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වැන්නවුන් දෙමළ ජනතාවට විමුක්තිය ලබා ගැනීමට යැයි පවසමින් සංවිධාන ගතවේ. මෙය පසුකාලීනව සමස්ත රටම ගිලගත් භයානක ත‍්‍රස්තවාදයක් බවට පත් වේ. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයේ බිහිසුණු බව පිළිබ`ද අමුතුවෙන් කරුණු කිව යුතු නැත.

1983 සිංහල, දෙමළ ජාතිවාදී ගැටුම් ඉතා අහිතකර ලෙස මෙරට අනාගත පැවැත්ම වෙනුවෙන් බලපෑවේය. මෙම ජාතිවාදී ගැටුම් සිංහල ජාතියට හෝ දෙමළ ජාතියට කිසිදු ජයග‍්‍රහණයක් අත්කර නොදුන්නේය. ලැබූ එකම දෙය නම් ඒ පරාජය පමණි. 1983 ජාතිවාදී ගැටුම්වලින් සිංහලයන් ද දමිළයන්ද දෙපාර්ශ්වයටම හිමි වූයේ පරාජයයි.

එහෙයින් මේ මොහොතේ ඇවිලෙමින් පවතින සිංහල, මුස්ලිම් ගැටුම් වෙතින් කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් කිසිවෙකුට ලබාගත නොහැකිය. මෙම ගැටුම්වලින් සිදු වන්නේ රට දිගුකාලීන වශයෙන් අස්ථාවරත්වයට පත්වීම පමණි. ගැටුම් නිර්මාණය කරන්නවුන්ට ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් යමක් ලැබුණද ගැටුම පවත්වාගෙන යන සාමාන්‍ය සිංහල, මුස්ලිම් පාර්ශ්වයන්ට කිසිවක් නොලැබෙන බව සියලූදෙනා තරයේම සිහිතබා ගත යුතු ය. දෙපාර්ශ්වයේම ආගමික නායකයන් ප‍්‍රමුඛ ජනමත නායකයන් මේ යථාර්ථය කලහකාරීන්ට අවබෝධ කරදීමට වෑයම් කළ යුතුය.

අන්තවාදයට අන්තවාදයෙන් ම විස`දුම් සෙවිය නොහැකිය. එබැවින් ඉස්ලාම් අන්තවාදයට සිංහල හෝ බෞද්ධ හෝ කිතුනු අන්තවාදයෙන් පිළිතුරු සැපයීමට යෑම උචිත නොවූවකි. අප මේ මොහොතේ ඉස්ලාම් අන්තවාදය මුලිනුපුටා දැමීම ස`දහා විස`දුම සෙවිය යුත්තේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජන සමාජය තුළින්මය. සාම්ප‍්‍රදායික මධ්‍යස්ථ මුස්ලිම් සමාජය අමනාප කරගෙන එම කාර්යය සිදු කළ නොහැකිය. ඒ නිසා අප මේ මොහොතේ කළ යුතු වන්නේ සාම්ප‍්‍රදායික සාමාන්‍ය මධ්‍යස්ථ මුස්ලිම් සමාජයේ විශ්වාසය දිනා ගැනීමයි. ඔවුන් ආරක්‍ෂා කිරීමයි.

මේ මොහොතේ සිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ කතෝලික අප උරමත පැටවී ඇති වගකීම වන්නේ ගෝලීය ඉස්ලාම් අන්තවාදයට මෙරට තුළ හිස එසවීමට අවකාශ විවර කර නොදීමයි. ඒ ස`දහා බහුතර සාම්ප‍්‍රදායික මධ්‍යස්ථ මුස්ලිම්වරයාගේද සහාය අත්‍යවශ්‍ය වේ. මේ මොහොතේ අප ජාති භේදයකින් තොරව අප සැම කළ යුතු වන්නේ රට අස්ථාවර කිරීමට වෙර දරන ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දේශපාලන න්‍යාය පත‍්‍රය මෙරට ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොතැබීමයි. රටේ අභ්‍යන්තර ගැටලූ ස`දහා විදේශීය මැදිහත්වීම්වලට අවස්ථාව සලසා නොදීමයි.

සාමාන්‍ය මුස්ලිම්වරයාගේ පල්ලියට පහර දීමෙන්, ඔහුගේ ව්‍යාපාර ස්ථානය ගිනි තැබීමෙන්, සාමාන්‍ය මුස්ලිම්වරයාට පහර දීමෙන්, හිංසා කිරීමෙන් මෙම ඉස්ලාම් අන්තවාදය පරාජය කළ නොහැකිය. එමගින් සිදු වන්නේ ජාතිවාදී ගින්න ඇවිලීයාම පමණි. සිංහල බෞද්ධයන් ජාත්‍යන්තරව අපකීර්තියට පත්වීම පමණි. අප ලාංකිකයන් වශයෙන් ලෝක සමාජය තුළ දෝෂ දර්ශනයට ලක්වීම පමණි. මේ කුමන්ත‍්‍රණ පසුපස සිටින ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට අප රටට අතපෙවීමට ඉඩ විවර කරදීම පමණකි.

දශක තුනක් පුරා පැවති ත‍්‍රස්තවාදය හේතුවෙන් දහස් ගණනකගේ ජීවිත මරු වැළ`ද ගත්තේය. ආබාධිතයන් වූ පිරිස ද අපමණය. උතුරේ ද දකුණේ ද තරුණයෝ දහස් ගණනක් සිය ජීවිතයෙන් වන්දි ගෙවූහ. සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණය වසා දේශපාලන අස්ථාවර බව, අරාජිකත්වය පැතිරුණි. මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවට වැටුණේය. ගෙවී යන සෑම මොහොතක්ම මරණ භයෙන් ගත කිරීමට ප‍්‍රජාවට සිදුවිය. තමාගේ මෙන්ම තම ප‍්‍රියයන්ගේ ජීවිත කෙරෙහි ඇති ආශාව අතැර දමා අපේක්‍ෂා භංගත්වයෙන් ජීවිත ගත කිරීමට ප‍්‍රජාවට සිදුවිය. කුමන මොහොතක හෝ බෝම්බයක් පිපිරී සියල්ල විනාශ වනු ඇතැයි යන අවිනිශ්චිත බවෙන් කාලය ගත කිරීමට සිදුවිය. එපමණක් නොව තම වටපිටාවේ ජීවත්වන ඔවුහු සෙසු අය දෙස සැකයෙන් අවිශ්වාසයෙන් බැලීමට පුරුදු වූහ. මේ සියලූ ව්‍යසනයන් ත‍්‍රස්තවාදයේ ප‍්‍රතිඵලයි.

එහෙයින් සියලූ පාර්ශ්වවල ජාතිවාදී ගින්න පතුරුවන අමනයන් මේ සියල්ල වටහාගත යුතුය. මේ අමනයන්ට මෙම ජාතිවාදී ගැටුම්වල බරපතළකම වටහා ගැනීමට ශක්තියක් නැතිනම් ආගමික නායකයන්, ජනමත නායකයන් ඔවුන්ට මේ පිළිබ`දව වටහා දිය යුතු ය. එසේද ජාතිවාදී තකතීරු අමනයන්ට ජාතිවාදී ගින්නේ බිහිසුණු බව නොතේරේ නම් ආරක්‍ෂක අංශ ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීමට ඉදිරිපත් වනු ඇතැයි යන්න මෙරට ප‍්‍රගතිශීලී ජනතාවගේ හැ`ගීමයි. ආරක්‍ෂක අංශවලට ඒ ස`දහා අවශ්‍ය පසුබිම සකසා දීම දේශමාමක පාලකයන්ගේ යුතුකම සහ වගකීම වන්නේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles