Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ක්‍රිකට්‌ තරග ගැන දැන් රටේ ජනතාවගේ එතරම් උනන්දුවක්‌ ඇති වගක්‌ පෙනෙන්නට නැත. හැමෝම වාගේ උනන්දුවෙන් සිටියේ පුංචි ඡන්දය පවත්වන දිනය ගැනය. අද හෙට, හෙට අනිද්දා වී අවුරුදු දෙකක්‌ පමණ පරණ වූ පුංචි ඡන්දය පැවැත්වීමට සූදානම් බව ඊයේ සියලුම මාධ්‍ය වාර්තා කර තිබිණි. අදාළ ගැසට්‌ නිවේදනයද ඊයේa (27 දා) නිකුත් කරන බව නිවේදනය කර තිබිණි.

මෙරට බිම් මට්‌ටමේ දේශපාලන ආයතනය හැඳින්වෙන්නේ පළාත් පාලන ආයතන ලෙසය. ඇත්ත වශයෙන්ම කීවොත් පළාත් පාලන ආයතන නොමැතිව සෘජුව ආණ්‌ඩුව යටතේ පාලනය වන පුරවර නිර්ණය කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බලය තිබේ. එහෙත් මේ වනවිට මෙරට සියලුම ගොඩබිම් ප්‍රදේශ පාලනය වන්නේ පළාත් පාලන ආයතන මගිනි. පළාත් පාලන ආයතන වර්ග තුනකි. ඒ මෙසේය. මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක්‌ම මෙරට ස්‌ථාපිතව පැවැතියේ කොළඹ, මහනුවර සහ ගාල්ල මහ නගර සභා පමණි. මේවනවිට මහ නගර සභා 24 ක්‌ද, නගර සභා 41 ක්‌ද ප්‍රාදේශීය සභා 272 ක්‌ද වශයෙන් සමස්‌ත පළාත් පාලන ආයතන වල එකතුව 337 ක්‌ ලෙස දැක්‌වේ. එහෙත් ඊට අලුතින් එක්‌වන පොළොන්නරුව මහනගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන කොටගල හා මස්‌කෙළිය ප්‍රාදේශීය සභා නිසා එම සංඛ්‍යාව 341 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

කෙසේ හෝ ජනවාරි මාසයේ පවත්වන්නට නියමිත යෑයි කියෑවෙන පළාත් පාලන ඡන්දයේදී නාම යෝජනා කැඳවීමට නියමිතව ඇත්තේ පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා පමණි. එම පළාත් පාලන ආයතන 93 "නඩු" නැති පළාත් පාලන ආයතන ලෙස හඳුනාගෙන ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ. ඇත්ත වශයෙන්ම නඩු විභාගයෙන් බලපෑමක්‌ ඇති පළාත් පාලන ආයතන 133 ක්‌ තිබේ. ඒ අතරින්ද 40 ක සීමා මායිම් විස්‌තර කිරීමේ ගැසට්‌ නිවේදනයේ මුද්‍රණ දොaෂ පවතින නිසා නාම යෝජනා කැඳවීමේ අපහසුතා මතුව තිබේ.

දැන් බාලගිරි අද නොවේ හෙට කියමින් කල් මරමින් හිඳ මේ පවත්වන්නට යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණයයි. තිබෙන ක්‍රමය නොව වැදගත් වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම බව පක්‍ෂ විපක්‍ෂ බොහෝ දෙනකුගේ මතය වී තිබිණි. මේ කතා සාධාරණය. හරියටම කීවොත් පුංචි ඡන්දයේ පමාව මේ ආණ්‌ඩුව පත්වූදා සිට මේ දක්‌වා කාලයට සමානය. ඡන්දය පැවැත්වීමට සූදානම් යෑයි කියන කාරණය වුව රටේ ජනතාවගේ පුදුමයට හේතුවක්‌ වී තිබේ නම් ඒ ගැන සැක සංකා තබාගත යුතු නැත. පුංචි ඡන්දය අහවල් ක්‍රමයට තබන්නට සූදානම් යයි කී කතාද, සීමා නිර්ණය පිළිබඳ කතාද අයවැය යෝජනා තරමටම ජනතාවට එපාවී තිබිණි. එසේ කිව් පමණින්ම මේ ආණ්‌ඩුව කියන කරන හැමදේම ජනතාවට "එපාවී" ඇතැයි වරදවා වටහාගත යුතු නැත. කෙසේ හෝ පසුගිය කාලය පුරාම පළාත් පාලන ඇමැතිවරයා මාධ්‍ය හමුවලදී කී කතා ඇහෙනවිට අපට හිතුනේ මේ අහිංසක මනුස්‌සයා මොනතරම් මානසික ආතතියකින් පෙළෙන්නට ඇතිද යන්නයි. කලකට ඉහතදී මැතිවරණ කොමසාරිස්‌වරයකුද එවැනිම ආතතියෙන් පෙලුණු බව අපට මතකය. අන්තිමේදී ඇමැතිවරයාට විශ්වාසභංගයක්‌ ඉදිරිපත් කර හෝ පුංචි ඡන්දය පවත්වන්නට පාර කැපීම ගැන කවුරු කවුරුත් සතුටු විය යුතුය.

ත්‍රස්‌ත සැමරුම් උතුරේ වඩා සාර්ථක අන්දමින් සිදුවේ. යාපනය විශ්වවිද්‍යාලයේදී කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා තිබේ. කේක්‌ කපා සමරන්නේ යහපත් පුද්ගලයකුගේ උපන් දිනයද? රටම භීතියට පත්කළ ත්‍රස්‌ත නායකයා සැමරීමට යාපන විශ්වවිද්‍යාල සිසුන් පෙළඹීම භයානක පෙර නිමිත්තක්‌ නොවේද? මොවුන් ඉදිරියේදී යළිත් ප්‍රභා ගත් මග ගැනීමට උත්සාහ කරයිද? මේ ත්‍රස්‌ත සැමරුම් වැළැක්‌වීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් උත්සාහ කර නැත. සංහිsඳියාව නිසා මේවා නැවැත්වීමට ආරක්‌ෂක අංශ මැදිහත් වන්නේද නැත. රට යන්නේ කොයි අතටද? කේක්‌ කපන අතටද? වස කන අතටද? යළි ත්‍රස්‌ත භීෂණයක සේයා මතුවන්නේද? යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ප්‍රභාකරන් සමරා රටට දෙන පණිවිඩය කුමක්‌ද? නැවත තමන් ඊළාම් සටනට පණදෙන බවද? ඒ භීෂණකාරී අතීතය නිසා වඩා විශාලම හානිය සිදුවූයේ දෙමළ ජනතාවට බව මොවුන් නොදන්නේද? ප්‍රභාකරන්ට කේක්‌ කැපීම යනු අයිසින්වල තවරා සයනයිඩ් කෑමට ගැනීම හා සමාන නොවන්නේද? වැල්ලවැටිතුරේදී ද මේ ත්‍රස්‌ත භීෂකයාගේ උපන් දිනය සමරා තිබේ. මේ නොවැම්බරයේ ටික ටික එළියට බසින ඊළාම්වාදීන් ලබන නොවැම්බරයේ කවර නැටුමක්‌ නටයිද? යහපාලන ආණ්‌ඩුව මේ ත්‍රස්‌ත සැමරුම් තහනම් කිරීමට උත්සාහ නොකරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ නිසාද? 2015 රෙජීම වෙනසට පෙර නම් මෙවැනි ආකාරයට නිදහසේ ත්‍රස්‌ත සැමරුම් කිරීමට කිසිවකුට ඉඩ ලැබුණේ නැත. පහන් පත්තු කළේද අතිශය රහසිගතවය.
 
 එසේ නම් දැන් කොටි හිතවාදීන් වඩා ප්‍රහර්ශයෙන් ප්‍රභාකරන් සමරන්නේ මන්ද? ප්‍රභාකරන් සැමරීමට නීතියෙන් කිසිදු ඉඩක්‌ නැත. එසේම මේ ත්‍රස්‌තවාදියා සැමරීමට ඉඩදීම ජාතියට නිග්‍රහයක්‌ නොවේද?
 
 කේක්‌ කපමින් කොටි සැමරීමේ අනතුර මේ ආණ්‌ඩුව නිසි ලෙස අවබෝධ කරගෙන ඇත්ද යන්න නම් ප්‍රශ්නයකි. කේක්‌ කපා ප්‍රභාකරන් සැමරීමෙන් පසුව මොවුන් කඩුව අතට ගනීද? තුවක්‌කුව අතට ගනීද? උතුර නැගෙනහිර පළාත්වල තවමත් කොටි සාමාජිකයෝ විsසිර සිටිති. මොවුන්ට තමන්ට පැරණි සටන් හරඹ අමතකව නැත. කේක්‌ කැපීමෙන් සිදුවන්නේ යළිත් බෙදුම්වාදයට උද්දීපනයක්‌ සැපයීම නොවන්නේද? මේ බෙදුම්වාදී උද්දීපනයේ අවසානය යළිත් රට අරාජිකත්වයට කරා යැම නොවේද? මේ අරාජිකත්වයට ඉඩ දී බකන්නිලාගෙන සිටීමට ආණ්‌ඩුවට හැකිද?
 
 ප්‍රභාකරන්ගේ ඊළාම් සටනින් දෙමළ වැසියන් දහස්‌ ගණනක්‌ මහපොළවට යටවිය. තවත් දහස්‌ ගණනකට උන්හිටිතැන් අහිමිවිය. පිරිසක්‌ ආබාධිත විය. දහස්‌ ගණනක්‌ වැන්දඹුවන් බිහිවිය. එහෙත් යළිත් කේක්‌ කපා උත්සාහ කරන්නේ අඳුරට අතීතයට අතවැනීමද? ඒ අඳුර ශාන්තියක්‌ද?ඒ අඳුර ශාප කළ යුතු වුවත් දැන් සිදුවන්නේ එයට ප්‍රේම කිරීම නොවේද?
 
 යාපනය විශ්වවිද්‍යාල සිසුන් ජනප්‍රියවීමේ අර්ථයෙන් ප්‍රභාකරන් සමරන්නේද? ප්‍රභාකරන් සැමරූ අතීත ශිෂ්‍ය ප්‍රජාවට යහපතක්‌ අත්වූවේද යන්න ඔවුන් සිතා බැලිය යුතුය. තැන්නම් මේ විශ්වවිද්‍යාල ප්‍රජාවට ද සිදුවන්නේ කේක්‌ කපා වස බොන්නට බව සටහන් කළ යුතුමය.

ත්‍රස්‌ත සැමරුම් යළිත් ආරම්භ වී තිබේ. කිළිනොච්චියේ කනකපුරම් හි ඩෝසර් කරනු ලැබූ කොටි සොහොනක සුන්බුන් යළි එකතු කොට කඳු ගසා මහවිරු සැමරුමකට සැරසෙන අයුරු පිළිබඳව විවිධ වෙබ් අඩවි මගින් පුවත් පළ කර තිබිණි. මහවිරු සමරුව සම්බන්ධව රජය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන්නේද? නිහඬ පිළිවෙත අනුගමනය කරන්නේ සංහිඳියාව නිසාද?

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක්‌ පිළිබඳව අපේ අවධානය යොමුවිය. ඒ කවරක්‌ද? "මේ ජාතික කොඩියට මමත් කැමැති නැහැ" යන්නයි. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයාද උතුරේ අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරනු පෙනේ. මේ රටේ ජාතික කොඩිය නිර්මාණය විය යුත්තේ දෙමළ සන්ධානයට අවශ්‍ය ලෙසද? සියලු ජනයාගේ ගරුබුහුමනට ලක්‌ව ඇති ජාතික කොඩිය වෙනස්‌ කිරීමට කවර බලවේගයක්‌ උත්සාහ දරයිද? එම ජාතිවාදී බලවේගවලට අවශ්‍ය පරිදි ජාතික කොඩිය වෙනස්‌ කළ නොහැකිය. ජාතික කොඩියටත් සංහිඳියාවේ ප්‍රහාර එල්ලවී තිබේද යන්න ගැටලුවයි.
 
 නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවා පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීම හෙළා දකිද්දී අනෙක්‌ පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.
 
 කිසිම දේශපාලනඥයකුට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට ඉඩදිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය සිංහ කොඩිය පාගා දමා ඊළාම් කොඩියට ප්‍රේම කිරීමද? බ්‍රිතාන්‍යයේ වෙසෙන එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට එරට ජාතික ධජය නිසා හිත් අමාරුකම් ඇතිව තිබේද? ඒ හිත් අමාරුකම් ගැන ප්‍රකාශ සිදුකර ඇත්ද? ඉන්දියාවේ හින්දු නොවන දේශපාලනඥයකු එරට ජාතික කොඩිය හෙළා දැක්‌කානම් සිදුවන්නේ කවරක්‌ද? එය බරපතළ ගැටුමක්‌ පවා වර්ධනයට හේතුවක්‌ වේ. නමුත් අපේ රටේ මේ ඊනියා මන්ත්‍රීවරුන්ට පළාත් ඇමැතිවරුන්ට කැමති කැමති හැටියට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට අවස්‌ථාව ලැබී ඇත. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරු පළාත වෙනුවෙන් වෙනම කොඩියක්‌ හා ජාතික ගීයක්‌ සකස්‌ කර ගැනීම විය යුතුය.
 
 ඊනියා සුළු ජන දේශපාලකයන්ගේ හිතේ අමාරු සුව කිරීමට ජාතික කොඩියට ගැරහීමට ඉඩ නොදිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් මේ සිදුවන්නේ රටේ අනන්‍යතාව විනාශ කරදැමීමකි. සිංහ කොඩියට වෛර කිරීම තුළින් හෙළි කෙරෙන්නේ කවරක්‌ද? දෙමළ සන්ධානය තුළ ඇති සිංහල බෞද්ධ විරෝධය නොවේද? සුළුතරයක්‌ සැනසීම වෙනුවෙන් බහුතරයේ වටිනාකම පාවාදිය යුතු නැත. වසර දෙදහස්‌ පන්සියයක ඉතිහාස කතාවද සංහිඳියාව ගැන සිතා අමතක කළ යුතුද? සුමන්තිරන් මහතා මන්ත්‍රීකම් දරමින්ම සිංහ කොඩිය නිග්‍රහයට ලක්‌කරයි. මොහු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රැකීමට බැඳී නැද්ද? දෙමළ සන්ධානය නව ව්‍යවස්‌ථාව ගැන වඩාත් උනන්දු වන්නේ සිංහ කොඩියටත් විනකැටීම සඳහාද? ඒ සඳහාද නව වගන්ති සකස්‌ කර ඇත්දැයි සැකයකි. මොවුන්ට අවශ්‍ය ජාතික කොඩියේ සිංහයා ඉවත්කර කොටියා ආදේශ කිරීමටද? නමුත් මේ බලවේග සිංහ කඩුපතින්ම පරාජය කර දැමිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් බහුතර ජනයාගේ ආත්මගරුත්වය සහ රටේ ප්‍රෙෘඪත්වය පාවා නොදිය යුතුය. සුමන්තිරන්ගේ ජාතික කොඩි අකැමැත්ත මගින් පෙන්නුම් කරන්නේ සිංහයාට ඇති වෛරය නොවන්නේද? එය වව්නියාව පැරකුම් විද්‍යාලයේදී උතුරු අධ්‍යාපන ඇමැති ප්‍රකට කළේය. ඒ අධ්‍යාපන ඇමැතිවරයා අනිවාර්යයෙන් ධුරයෙන් පහකළ යුතු සේම සුමන්තිරන්ගේ ජාතික කොඩි විරෝධයටද නිසි පිළිතුරු දිය යුතුය. තමන් මධ්‍යස්‌ථ දෙමළ දේශපාලකයෙක්‌ යෑයි ලෝකය හමුවේ නිරන්තරව ප්‍රකාශ කරන සුමන්තිරන්ගේ සිංහල විරෝධය මේ ජාතික කොඩි විරෝධය හරහා මැනවින් ප්‍රකට වේ. එනිසා මේ ඊනියා මධ්‍යස්‌ථ මතධාරීන්ගේ වෙස්‌ මුහුණ ගලවා දැමිය යුතුය.

පසුගියදා පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට්‌ නිවේදනයට අත්සන් තබමින් ඇමැති ෆයිසර් මුස්‌තාපා පැවසුවේ "දැන් පිච් එක හරි, මැච් එක පවත්වන්න" කියාය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා 'මැච්' එක පැවැත්වීමට දින වෙන්කරමින් සියලු කටයුතු සූදානම් කරමින් සිටියේය. නමුත් හදිසියේම තරග තීරකවරයා ලෙස කටයුතු කළ අභියාචනාධිකරණය විසින් ෆයිසර් මුස්‌තාපා, සැකසූ තනතීරුව 'මැච්' එක පැවැත්වීමට නුසුදුසු තනතීරුවක්‌ බවට නිගමනය කර තිබේ. ඒ අනුව පළාත් පාලන තරගය යළිත් දින නියමයක්‌ නැතිව කල් යමින් තිබේ.
 
 ආණ්‌ඩුව මුල සිටම කටයුතු කළේ පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීමේ කූට අරමුණෙනි. ආණ්‌ඩුවට වාසිසහගත පිටියක්‌ සකස්‌ කිරීමේ භූමිකාව ඉටුකිරීමට පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා කටයුතු කළ ආකාරය හාස්‍යජනකය. රටේ පළාත් පාලන අමාත්‍යාංශය යනු රටේ පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශයකි. එම අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ නිසි කලට මැතිවරණ පවත්වා, පළාත් පාලන නියෝජිතයන් පත්කර, රටේ පරිපාලන ක්‍රියාවලිය ශක්‌තිමත් කරලීමය. මෙය ඉතා වගකීම් සහගත ක්‍රියාවලියකි. නමුත් පළාත් පාලන අමාත්‍යාංශයට ඒ පිළිබඳව කිසිදු වගකීමක්‌ නොමැති බව අද රටටම පෙනී ගොස්‌ අවසන් ය.
 
 පසුගිය ආණ්‌ඩුව ද නිසි කලට මැතිවරණ පැවැත්වුව ද ඒවා තනිකරම මහජන මුදල් කාබාසිනියා කළ සැණකෙළි විය. ඛේවාචකය, යහපාලනය ගැන නන් දොඩවන ආණ්‌ඩුව ද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පරණ ආණ්‌ඩුව ගිය අඩි පාරේම ගමන් කිරීමය.
 
 මේ වන විට රටේ පළාත් පාලන ආයතන සියල්ලම අකර්මණ්‍ය වී තිබේ. නාගරික කසළ බැහැර කරලීමේ ක්‍රියාවලියේ අර්බුද හේතුවෙන් ඩෙංගු පැතිරීම යළි වේගවත් වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2017 වසරේ නොවැම්බර් වන විට රටේ ජනගහනයෙන් 172235 කට ඩෙංගු උණ වැළඳී තිබේ. මියගිය ගණන 390 කි. ආණ්‌ඩුවට ඩෙංගු මර්දනය කිරීමට සැබෑ වුවමනාවක්‌ ඇත්නම් කළ යුත්තේ පළාත් පාලන ඡන්දය පවත්වා, නියෝජිතයන් පත්කර පක්‌ෂ භේදයකින් තොරව ඩෙංගු මර්දන සංග්‍රාමය ඇරඹීමය. මන්ද ආණ්‌ඩුව මුල්තැන දිය යුත්තේ ආණ්‌ඩුව රැකගැනීමට නොව රටේ ජනතාව රැකගැනීමටය.
 
 ලංකාවේ දේශපාලනය යනු 'ඩීල්' වලින් පිරුණු 'ගේම්' එකකි. මෙම ක්‍රීඩාවේ මහත්වරුන් නැත. එම නිසා ලංකාවේ දේශපාලන 'ගේම්' එකෙන් වැඩිපුර දැවී යන්නේ රටේ මහජනතාවය. නමුත් දැන් රටේ ජනතාවට ද මේ 'ගේම්' එක ගැන අවබෝධයක්‌ තිබේ. එය දේශපාලනඥයන්ට ඉතා අසුබ ආරංචියකි. මන්ද, ජනතාව මේ 'පොලිටික්‌ ගේම්' එක ගැන දැනගන්න, දැනගන්න දේශපාලනඥයන්ට සිදුවන්නේ ලකුණු නොලබාම දැවී යන්නටය. එලෙස දැවී යන අණ්‌ඩුවේ පළමු පිතිකරුවා ෆයිසර් මුස්‌තාපා ද?
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles