Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

වගාවට මුල්තැන දෙන සංස්‌කෘතියක්‌ හදන්නට, ගොවියා රජ කරවන්නට, රට සහලින් ස්‌වයංපෝෂිත කරවන්නට පැමිණි යහපාලන ආණ්‌ඩුව හාල්, පොල්, පිටරටින් ගෙන්වන්නට සැරසෙන බව කියෑවේ. ඉස්‌සර නම් කීවේ 'හඳෙන් ගෙනැවිත්' හෝ හාල් දෙන බවය. එහෙව් එකේ පිටරටින් හෝ හාල් පොල් ගෙන්වීමට තීරණය කිරීම ගැන අපේ අහිතක්‌ නැත. එහෙත් දුකට කාරණාවක්‌ තිබේ.

 

ස්‌වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ (Uppsala University) දේව ධර්මය පිළිබඳ මහාචාර්ය පීටර් ෂල්ක්‌ (Peter Schalk) ඊළාම් නිජබිම් සංකල්පය ශාස්‌ත්‍රීයව බිඳ හෙළීම ගැන ලිපියක්‌ පෙරේදා (6 දා) "දිවයින බදාදා අතිරේකයේ" පළ විය. තමිල්නාඩුවේ තිරුප්පරාම්කුන්රාම් (Thirupparamkunram) ද්‍රවිඩ බ්‍රාහ්මි සෙල් ලිපියේ "ඊළ" යන වචනය පාදක කරගෙන ද්‍රවිඩ විද්වතුන් විසින් ගොඩනැඟුණු ඊළාම් නිජබිම් සංකල්පය වැරදි අර්ථකථනයක්‌ බවත් එම සෙල් ලිපියේ "ඊළ" යනුවෙන් හඳුන්වන්නේ කේරළයේ රා මදින්නන්ගේ කුලයක්‌ වන "ඊළවර්" (Eelavar) බවත් පීටර් ෂල්ක්‌ තම ලිපියෙන් ශාස්‌ත්‍රීයව ඔප්පු කර තිබිණි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය අවසන් වී වසර අටකට පසුවද, එම යුද්ධයට වස්‌තු බීජය වූ ඊළාම් නිජබිම් සංකල්පයට පාදක වූ ශාස්‌ත්‍රීය මතවාද සම්බන්ධයෙන් අප වැඩි අවධානයක්‌ යොමු කරන්නේ කරුණු කීපයක්‌ නිසාය.

 

පසුගිය ආණ්‌ඩුව නහුතෙටම ණය වී ඇතැයි කියන වත්මන් ආණ්‌ඩුව ඒ ණය පියවීම උදෙසා සුපිරි යෝජනා ගෙන එයි. ඒ යෝජනා හා ව්‍යාපෘති ගැන ලියන්නට ගියොත් ලියෑවෙන්නේ ආර්ථික විශ්ලේෂණයකි. ඒ නිසා ඒ කතා පැත්තක තබා "බීර" ගැන කතා කළ යුතුය. ණය පියවීම සහ බීර (සමස්‌ත මත්පැන්) අතරද, සම්බන්ධතාවක්‌ තිබේ. වත්මන් ආණ්‌ඩුව සියලුම මත්පැන් වර්ගවල මිල ඉහළ දමන අතරේ බීර මිල පහත හෙළුවේය. අරක්‌කු බදු මුදල් වැඩිවීම නිසා රජයට වාසියක්‌ අත්වීම තේරුම්ගත හැකි වුවද බීර මිල පහත හෙළීමෙන් රජයට අත්වන්නේ කවර වාසියක්‌ද යන්න තේරුම්ගත නොහැකි කාරණයකි. මුදල් ඇමැතිවරයා කීවේ බීර මිල අඩු කිරීමෙන් හොර මත්පැන්වලට (ගමේ භාෂාවෙන් කීවොත් කසිප්පුවලට) ජනතාව යොමුවීම වැළක්‌ විය හැකි බවය. අරක්‌කු මිල වැඩිකරන විට ඊට ආදේශක සොයන උදවිය හොර මත්පැන් කසිප්පු ඇති තැන් සොයා ගැනීම සාමාන්‍ය දෙයකි. ඒත් දැන් ගමේ "කසිප්පු පොට්‌" වලටද සෑහෙන ප්‍රශ්න ඇති නිසා ඒවා බොහෝමයක්‌ වැසී ගොසිනි. ඒ නිසා එවැනි විකල්ප සොයා යන්නට හැකියාවක්‌ නැත. එහෙමයි කියා මේ උදවිය බීර බොන්නට හුරුවන්නේද නැත. බෝතලයක්‌ හමාරක්‌ බී පදම්වී සිටින මිනිහාට බීර ටින් එකක්‌ දෙකක්‌ නොව බැරලයක්‌ බීවත් කික්‌ එකක්‌ නැති බව බොන අයගේම මතයයි. මේ බව තේරුම්ගත් නිසාම ආණ්‌ඩුවේම ඇමැතිවරයෙකු කියා තිබුණේ අඩු කළ යුත්තේ බීර මිල නොව ගල් අරක්‌කු මිල බවය. කෙසේ හෝ මත් විරෝධී බොහෝ දෙනෙක්‌ කියන්නේ ඒ කිසිවක්‌ හෝ මිල පහත හෙළීමක්‌ නොකළ යුතු බවය. අන්තිමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ගැන පාර්ලිමේන්තුවටම පැමිණ මේ කතාව කීවේය. ජනාධිපතිවරයා කියන ආකාරයට "ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය" තුළ බියර් වේවා, අරක්‌කු වේවා භාවිතය සඳහා සහන දීම, සුදුසු නැත. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියන පරිදි සිගරට්‌ අරක්‌කුවලින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීමත් නොකළ යුතුය. එය සැබෑවක්‌ බව අපිදු විශ්වාස කරමු.
 
 ඇත්ත වශයෙන්ම කීවොත් 1995 වර්ෂයේදී ද එවකට මුදල් ඇමැතිවරයා බියර් බදු 50% කින් අඩු කරන ලදී. ප්‍රතිඵලය වූයේ මෙරට බියර් භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යැමයි. එහෙත් එසේ වූ නිසාම රටේ අරක්‌කු භාවිතයේද අඩුවක්‌ වූයේ නැත. එයද බියර්වලට සාපේක්‍ෂව ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. ඒ නිසාම මේ යෝජනාව ප්‍රායෝගික නොවන අසාර්ථක යෝජනාවක්‌ ලෙස ජනාධිපතිවරයා දක්‌වන අදහස්‌ තාර්කිකය. කොහොම මිල ඉහළ දැම්මත් බොන එකා බීම නවත්වන්නේ නැත. බීර මිල අඩුකිරීම ප්‍රශ්නයට විසඳුමක්‌ වන්නේද නැත. ඔය කියන කාරණාවලට වඩා (මත්පැන් පානය වැළැක්‌වීමටත්, හොර මත්පැන් අවම කිරීමටත්) ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ඕනෑ තරම් තිබේ.
 
 නීති විරෝධී මත්පැන් පානය (භාවිතය) අවම කිරීමට සැබෑ වුවමනාවක්‌ ඇත්නම් ඒ සඳහා කළ යුත්තේ (සියලුම) මත්පැන්වලට පනවා ඇති නීති රීති ලිහිල් කිරීම නොවන බව අපේ අදහසයි. ජනාධිපතිවරයා කියන පරිදි මේවායින් ජාතික මත් විරෝධී වැඩසටහන්වලට ලැබෙන සහයක්‌ නැත.

රටේ තිබෙන්නේ ආපදා තත්ත්වයකි. "ඔකී" නොව කොයික පැමිණියත් අපට සූදානම් වන්නටත් කාලයක්‌ නැති බවත්, පූර්ව අනතුරු හැඟවීම් නැති බවත්, කාලගුණය පෙන්වා දී තිබිණි. දැන් නායයැම් ගැන නැවත කතාබහ කෙරේ. රටම නාය ගියත් දැන් වැඩිපුරම කතා බහ කරන්නේ "පුංචි ඡන්දය" ගැනය. ඒ නිසාම ඒ ගැන කතා කිරීම කාට කාටත් හොඳය. කාලගුණය කළ විපතේ තරමටම එවැනි අවස්‌ථාවක දකින්නට ලැබෙන "මුහුණු" මෙවර දකින්න ලැබුණේ නැත. ඒ මුහුණු මේ දිනවල හිඳින්නේ තාප්පවලය. පක්‍ෂ විපක්‌ෂ භේදයකින් තොරව සියලුම දේශපාලනඥයන් දැන් පෙළගැසී සිටින්නේ ජනතාව බේරා ගන්නට හෝ විපතට පත්වූවන්ට සහන සැලසීමට නොව "පක්‍ෂය" බේරා ගන්නටය. තම තමන්ගේ ජාම බේරා ගන්නටය. සියලුම පක්‍ෂවල ඔලු ගෙඩි මාරුවීම, එහෙමත් නැතිනම් පිල් මාරුව ගැනද දැන් කතා අසන්නට ලැබේ. දැන් පක්‍ෂ නාය යන්නේ කඳු නාය යනවාටත් වඩා වේගයෙනි. ඒ ආපදාව කළමනාකරණය කරගන්නට දේශපාලන ගේම් බොහොමයක්‌ ගැසිය යුතුය.
 
 පක්‍ෂය නායයැම වළක්‌වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසකි. ඒ සඳහා පෝස්‌ටර්, කටවුට්‌ ගැසීම, දැන්වීම් පළකිරීම පමණක්‌ ප්‍රමාණවත් නැත. පක්‍ෂය නායයැම වළක්‌වා ගැනීමටත්, ඔලු ගෙඩි වැඩිකර ගැනීමටත්, ආපදාව කළමනාකරණය කිරීමටත් දොළ පිදේනි දිය යුතුය. මේ සියල්ලම කරන්නට මිලියන බිලියන ගණනක්‌ වැය කළ යුතුය. ප්‍රාදේශීය සභා, නගර සභා අයත් වන බොහෝ ප්‍රදේශවල කඳු නායයැමට වඩා හතර පස්‌ දෙනකුගේ එහා මෙහා වීමෙන් පක්‍ෂය නාය ගියොත් පක්‍ෂය නායයැම වළක්‌වාගත නොහැක. තමන්ගේ "එකා" පක්‍ෂය ගොඩදා ගත්තොත් ඊළඟ ආපදාවකදී ජනතාවට සහන සැලසීම ඒ තරම් කඡ්ජක්‌ නොවේය. අසවල් දේශපාලනඥයාගේ, අහවල් සංවිධායකගේ පරිත්‍යාගයකි යනුවෙන් සඳහන් කළ වියළි සලාක පාර්සල් අවම වශයෙන් කෙසෙල් ගෙඩියක්‌ බැගින් හෝ බෙදා දිය හැක්‌කේ පක්‍ෂය නායයැම වළක්‌වා ගතහොත් පමණි. සියලු දේශපාලනඥයන් මේ වන විට පෙළගැසී සිටින්නේ ඒ වෙනුවෙනි. පුංචි ඡන්දය යෑයි කීවාට මේ ඡන්දය ඒ තරමටම පොඩි නැත. පසුගිය කාලයේ ඒ ගැන අත්දැකීම් ඕනෑ තරම් රටේ ජනතාව අත්වින්දහ. ඡන්දය පුංචි වුණාට වියදම් කරන්නේ මිලියන ගණනිනි. ඡන්දය පුංචි වුණාට ඉදිරිපත් වන්නේ හොඳම "බඩු" ය. "කසිප්පු" කාරයාගේ සිට ගමේ මදාවි, චණ්‌ඩි, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ත්‍රාඩ ගෝල බාලයන් හැම කෙනෙක්‌ම පුංචි ඡන්දෙට ලොකු වැඩ කරති. මේ අය ඇත්තටම එන්නේ ගමට (රටට) වැඩක්‌ කරන්නද යන්න ගැන කතා නොකර සිටීම වඩා හොඳය.
 
 පුංචි ඡන්දය පවත්වන්න තිබුණේ පසුගිය 2015 මාර්තු 31 වැනිදාට පෙරය. ඒ අනුව අවුරුදු තුනකට ආසන්න කාලයක්‌ පුංචි ආණ්‌ඩුවක්‌ රටේ තිබී නැත. ගමේ නගරයේ යටිතල පහසුකම් සැපයීමේ සිට සියලුම දේ ක්‍රියාත්මක වූයේ පුංචි ආණ්‌ඩු හරහා ය.
 
 මිලියන ගණනින් වියදම් කර පුංචි ආණ්‌ඩුවලට තරග කරන උදවිය "මීය කඩන්නේ අත ලෙවකන්නට" නොවේ. එහෙම බලන විට පසුගිය අවුරුදු තුනේ පුංචි ආණ්‌ඩුවලට "කොමිස්‌ ගැහිලි" නැති නිසා විශාල ලාභයක්‌ තිබෙන්නට ඇති බව විශ්වාසය.
 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දිල්ලි නගරය ලෝකයේ නගර 1600 ක්‌ අතුරින් වායු දූෂණය (Air Pollution) ඉහළම නගරයයි. මේ තත්ත්වය නිසා දිල්ලියේ මහ ඇමැති අරවින්ද කෙජීරිවාල් තමන්ගේ නගරය හඳුන්වන්නේ "ගෑස්‌ කුටීරයක්‌" (Gas Chamber) ලෙසය. මේ ගෑස්‌ කුටීරයේ පයින් ඇවිදගෙන යැම පවා මාරාන්තිකව තිබියදී එහි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයක්‌ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය තීන්දු කොට තිබිණි. දැන් එම මාරාන්තික තීන්දුව ගැන කතා කිරීම හොඳටම ප්‍රමාද වැඩිය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලකයන්ගේ මේ 'ගොන් පාට්‌' නිසා ඊයේ (06 දා) දිල්ලි ටෙස්‌ට්‌ තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ඇදුම රෝගීන් බවට පත්කරමිනි.
 
 දිල්ලියේ මෙවැනි මාරාන්තික නාඩගමක්‌ සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ ද අපූරු "ක්‍රිකට්‌ කෝලමක්‌" සිදුවිය. ඒ ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් තොරව ජාතික එක්‌දින ක්‍රිකට්‌ කණ්‌ඩායම ඉන්දියාව බලා යැමය. අවසානයේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටුනායක ගුවන්තොටුපළේදී කණ්‌ඩායම ආපසු හරවා යෑවීමට පියවර ගත්තේය. ඇමැතිවරයාගේ එම තීන්දුව අගය කළ යුතුය. මන්ද, රටේ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය නොමැති කණ්‌ඩායමක වගකීම ගන්නේ කවුද? මෙරට ක්‍රීඩා නීතිය මෙන්ම ගෝලීය සම්ප්‍රදාය අනුව ද ජාතික කණ්‌ඩායමක්‌ ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්යය. එම නීතිය දැන දැනත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය මෙවැනි "කෝලමක්‌" නැටුවේ රෙදි ඇඳගෙන දැයි අපට අසන්නට සිදුව තිබේ.
 
 ශ්‍රී ලංකාවේ ජනතාව සහ ක්‍රීඩකයන් ආදරයෙන් රැකබලාගත් 'ක්‍රිකට්‌' ක්‍රීඩාව මේ මොහොතේ තිබෙන්නේ බොරැල්ල කනත්ත ළඟ වැට මායිමේය. මේ ක්‍රිකට්‌ අවමඟුලේ අවමංගල්‍ය අධ්‍යක්‌ෂණය ද ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරන නිසා දැන් තිබෙන්නේ වළ කැපීම හෝ ආදාහනය කිරීමේ තීන්දුව ගැනීම පමණි. මෙම අවමඟුල නතර කර මේ ක්‍රිකට්‌ මළකඳ නැවත මෙට්‌ලන්ඩ් පෙදෙසට ගෙනගොස්‌ එයට පණදීමේ හැකියාවක්‌ ක්‍රීඩා ඇමැතිවරයාට තිබේ. එම තීන්දුව ගැනීමට වර්තමාන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට කශේරුකාවක්‌ ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට නම් දයාසිරි ජයසේකර ආදර්ශයට ගත යුතු හොඳම පුද්ගලයා හිටපු ක්‍රීඩා ඇමැති, දිවංගත ගාමිණී දිසානායක මහතාය.
 
 ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පරිපාලනය හොඳින්ම සිදුකළ ක්‍රීඩා ඇමැතිවරයා ගාමිණී දිසානායකය. ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පරිපාලනය දක්‌ෂ කළමනාකරුවන් අතට පත්කර ඔහු ඔවුන්ට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන්නේය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනන්නේ එලෙස ගාමිණී දිසානායක ක්‍රිකට්‌ ක්‍රීඩාවට දැමූ ශක්‌තිමත් අත්තිවාරම මතය.
 
 වර්තමාන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට්‌ ගොඩගැනීමට සැලසුමක්‌ සකස්‌ කර තිබේ. ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට්‌ ගොඩගැනීමේ කමිටුව ද ඔවුන්ගේ යෝජනා ඇමැතිවරයාට පිළිගන්වා තිබේ. කීර්තිමත් පරිපාලකයකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ මහේල ජයවර්ධන, කුමාර සංගක්‌කාර, අරවින්ද ද සිල්වා වැනි ගෝලීය ක්‍රිකට්‌ සලකුණුය. එමනිසා ඔවුන්ගේ යෝජනා වඩා වටිනාම යෝජනා විය හැකි බව අපගේ මතයයි.
 
 දැන් කළ යුත්තේ එම සරුසාර යෝජනා ඉතා කඩිනමින් ක්‍රිකට්‌ පොළොවේ රෝපණය කිරීමය. වර්තමාන ක්‍රිකට්‌ ආයතනයේ "කෝලම් නැට්‌ටුවන්" සමඟ මෙය කළ නොහැකි බව දැනටමත් ඔප්පු වී අවසන් ය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙම අභියෝගය ජයගැනීමට නම් කළ යුත්තේ දක්‌ෂ කළමනාකරුවකුට ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලනය භාරදීමය. එය ප්‍රමාද වීම, ක්‍රීඩා ඇමැතිවරයාගේ වළ ඔහු විසින්ම කපා ගැනීම ඉක්‌මන් කරනවා ඇත.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles