Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

මැතිවරණ සමය එළඹෙතAම දේශපාලකයෝ විවිධ ප්‍රකාශ කරති. මේ ප්‍රකාශ විටක තර්ජනාත්මකය. විටක හාස්‍යය උපදවයි. විටක පිළිකුල් සහගතය. මේ පිරිසට අවශ්‍ය කෙසේ හෝ බලය රැක ගැනීමටය. බලය රැක ගැනීම වෙනුවෙන් කටින් පමණක්‌ නොව අතින් පයින් පහරදීමට වුවද මොවුහු පෙළඹෙති. මේ සියල්ල සිදු කරන්නේ මහජන සේවය සඳහා ද? මහජන සේවය රැක ගැනීමට ද? නැත්නම් තම සේවාව වැඩි දියුණුවට ද?

නව ව්‍යවස්‌ථාවක්‌ අත්‍යවශ්‍ය බව කියමින් රටපුරා රැස්‌වීම් පවත්වමින් යන පිරිසක්‌ වෙති. සමහර අවස්‌ථාවල ඔවුහු මහපාරේ වාඩිවී උද්ඝෝෂණය කරමින් නව ව්‍යවස්‌ථාවම ඉල්ලා සිටිති. මෙරට සාමාන්‍ය ජනතාවට නම් ව්‍යවස්‌ථා උණක්‌ බෝවී නැත. ව්‍යවස්‌ථාවට වඩා තවත් බේරාගත යුතු ඉටුකර ගතයුතු ප්‍රශ්න බොහොමයක්‌ ඇති බව ජනයා හොඳින් දන්නා බැවිනි. අනෙක්‌ පැත්තෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හරහා කේතුමති රාජ්‍යය නිර්මාණය වන්නේද නැත. ස්‌ථාවර රට අස්‌ථාවර කරන නව ව්‍යවස්‌ථාව ගැන බොහෝ දෙනෙකු තුළ පැහැදීමක්‌ නැති බව ප්‍රකට ය.
 
 මේ අපැහැදිලිකම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී ද වඩාත් ප්‍රකට නොවූවේද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අතුරු කමිටු වාර්තාව පිළිබඳ කල් තබන ලද විවාදය පැවතියේ විනාඩි හතරක්‌ පමණි. එයට හේතුව කුමක්‌ද? මේ සඳහා කිසිම මන්ත්‍රීවරයකු සහභාගි නොවී සිටීමයි.
 
 ව්‍යවස්‌ථාව ගැන නිරන්තරව උනන්දුව දක්‌වන මන්ත්‍රීවරු පවා මෙයට සහභාගි වී නොසිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද නව ව්‍යවස්‌ථාව ගැන උකටලීව බලා සිටීද? ඔවුනට මේ නව ව්‍යවස්‌ථාව අවශ්‍ය නැද්ද? නව ව්‍යවස්‌ථාව ගැන රටේ ජනතාව පැහැදීමක්‌ නැති නිසා මන්aත්‍රීවරු ද මේ විවාදය උවමනාවෙන්ම මගහැර ඇත්ද?
 
 විශාල කාලයක්‌ මෙන්ම දැවැන්ත මුදලක්‌ වැය කරමින් මෙලෙස පාර්ලිමේන්තු විවාද සූදානම් කරන්නේ කා සඳහා ද? රටේ අභිවෘද්ධියට ද? මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය නැති නව ව්‍යවස්‌ථාව සම්මත කරන්නේ කා වෙනුවෙන් ද? රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයින් පිනවීම වෙනුවෙන් ද? නව ව්‍යවස්‌ථාව සම්මත වීම ගැන මෙරට විදේශ තානාපති කාර්යාල නම් බලවත් උනන්දුවෙන් පසුවෙති. රටේ ජනතාවට නැති ව්‍යවස්‌ථා රුදාවක්‌ද මේ තානාපති බලධාරීන්ට නම් ඇති බව පෙනේ. රට යකාට ගියද මේ ව්‍යවස්‌ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම මේ පිරිසේ අරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ව්‍යවස්‌ථාව ගැන උනන්දුවක්‌ නැත්නම් නව ව්‍යවස්‌ථා කුමකට ද? කොස්‌ කොටන්න ද?
 
 දෙමළ ජනයාගේ දුක්‌ ගැනවිලි සමනය කරන්නට ව්‍යවස්‌ථා ලියවිල්ලට හැකියාවක්‌ ලැබෙයි ද? නැත. එය හිතළුවක්‌ පමණි. විදේශයන්හි වෙසෙන රට අස්‌ථාවර කිරීමට උත්සාහගන්නා බලවේග නම් මේ ඊනියා ව්‍යවස්‌ථාව ගැන උනන්දු වෙති. කොටි ඩයස්‌පෝරාව සතුටු කිරීමට නව ව්‍යවස්‌ථා ඉදිරිපත් කළ යුතු නැත.
 
 මහා සංඝරත්නය මේ නව ව්‍යවස්‌ථාව ඉදිරිපත් කිරීම සුදුසු නැති බව අවධාරණය කර ඇත. ඒ බව ජනපතිතුමාට පවා මැනවින් පහදා දී තිබේ. එසේ නම් කිසිවකුට උනන්දුවක්‌ නොදක්‌වන මේ නව ලියවිලි කුමකට ද? රට අරාජික කරන ව්‍යවස්‌ථාවක්‌ නම් අවශ්‍යම නැත.

වත්මන් ආණ්‌ඩුවට බොහෝ ප්‍රශ්න තිබේ. ආණ්‌ඩුව හිතන්නේ ඒවා ජනතාව විසින් ආණ්‌ඩුව වෙත බලහත්කාරයෙන් පටවනු ලැබූ ප්‍රශ්න බවය. එහෙත් ඇත්තම කතාව නම් කිසිදු ප්‍රශ්නයක්‌ නැති රටේ ජනතාව වෙත උදේ නැගිට්‌ට පැදුරේ සිට හිත හිතා තැවෙමින් සිටින්නට ප්‍රශ්න රාශියක්‌ නිර්මාණය කර දී ඇති බවය. ඊටත් අමතරව ඒ සියලු ප්‍රශ්න ජනතාවටම විස¹ ගන්නට හැර (එනම් "පටි තද කර" ගැනීමේ සොඳුරු ආඥවක්‌ නිකුත් කර) ආණ්‌ඩුව බරපතළ අර්බුද ගණනාවකට විසඳුම් සොයමින් සිටී. ඒවා ආණ්‌ඩුව විසින් හදාගත් ප්‍රශ්නය. ආණ්‌ඩුවේම, නිවැරැදිව කීවොත් "සම්මුති ආණ්‌ඩුවේ" සියලුම මැති ඇමැතිවරු එක්‌ව එම ප්‍රශ්න නිර්මාණය කර තිබේ. ඒ නිසාම ආණ්‌ඩුව 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්‌වාම රටට ප්‍රකාශ කරන යහපාලනය (කෝච්චි නැතුවම) පීලි පනිමින් තිබේ. යහපාලන පීලිවල ඇණ මුරිච්චි බුරුල් කරමින්, යන පාර විනාශ කරන්නේ දේශපාලනඥයන්මය. මේ ගැන හොඳින්ම අවබෝධ කරගත හැකි ආකාරයේ ප්‍රවෘත්තියක්‌ ඊයේ (11 වැනිදා) "දිවයින" පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබිණ.
 
 එම ප්‍රවෘත්තිය මෙසේය. ජාතික ළමාරක්‍ෂක අධිකාරිය, එම ආයතනයේ ප්‍රාදේශීය ළමාරක්‍ෂක නිලධාරී පුරප්පාඩු සඳහා නියමිත ක්‍රමවේදයට 110 ක පිරිසක්‌ තෝරා පත්කරගෙන තිබේ. පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසු උපාධිධාරීන් 1700 ක පිරිසක්‌ අයෑදුම් කර තිබී ඇති අතර ඉන් 890 ක්‌ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවා ඉහතකී 110 දෙනා නියමිත ක්‍රමවේදයට තෝරාගෙන තිබේ. දැන් සිදුව තිබෙන්නේ එම 110 දෙනා අතරට අදාළ විෂය භාර ඇමැතිවරියගේ 65 දෙනකුගෙන් යුත් නම් ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කිරීමට යාමය. මේවා යහපාලන ආණ්‌ඩුවට නොගැලපෙන අශීලාචාර, ශිෂ්ටසම්පන්න නොවන දේශපාලන මැදිහත්වීමක්‌ බව කිව යුතුය. කොටින්ම කීවොත් මේ දෙන්නට හදන්නේ "දේශපාලන පත්වීම්ය." යහපාලන ආණ්‌ඩුව බලයට එන්නට පෙරාතුව මැතිවරණ, ජනාධිපතිවරණ වේදිකා හෙල්ලෙන්නට කෑගසා කීවේ "දේශපාලන පත්වීම්" නොදෙන බවය. අදාළ පටිපාටින්වලට අනුව සුදුස්‌සන්ට සුදුසු තැන දෙන බවය. අදාළ ප්‍රතිපත්ති සඳහන් අත් පත්‍රිකා, පොත් කාවන් කා දමා ඇත්නම් අදාළ ඇමැතිවරියට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ගොස්‌ ඒ ගැන පරීක්‍ෂා කර බැලිය හැක.
 
 අදාළ ඇමැතිවරිය මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ, වත්මන් ආණ්‌ඩුව පත්වූ විගසම අශුචි වළකට පැන ගොඩ ඒමත් මේ වන විට එහි දුගඳ ඉතාම නරක ආකාරයට දැනෙමින් තිබෙන මොහොතකය. කෙළින්ම කීවොත් "බැඳුම්කරය" ඉතා නරක අන්දමට ආණ්‌ඩුවේ නම කැත කළේය. ඊට පසුව තවත් බොහෝ දෙනෙක්‌ "යහපාලන බෝඩ් ලෑල්ලේ" විටෙක අශුචි ද විටෙක ගොමද තවරමින් බරපතළ ආකාරයට ඒ නම කැත කළහ. ගෙවෙන වසරේ මුල් කාර්තුවේ බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීමේ දී ද ඉහත කී ආකාරයේම අකටයුත්තක්‌ සිදුවිණි. අවසානයේ විධිමත් ලෙස පරීක්‍ෂණයට පෙනී සිටි උදවියට ද රැකියාව හිමි වූයේ නැත. දැන් නැවත ඒ සඳහා පරීක්‍ෂණ පැවැත්වේ.
 
 මෙවැනි දේ ගැන වාර්තා පළවන විට ඕනෑම දේශපාලනඥයකු කියන අනිවාර්ය යමක්‌ තිබේ. ඒ, "අපේ කාලයේ විතරක්‌ නෙවෙයි. පහුගිය ආණ්‌ඩුවෙනුත් දුන්නා" යන්නයි. මෙය කිසි විටෙකත් සදාචාරාත්මක හෝ සාධාරණ පිළිතුරක්‌ නොවන බව කිව යුතුය. මන්ද, ඒ බොහෝ දේ නිවැරැදි කිරීම පිණිස අලුත් ප්‍රතිපත්ති, සැළසුම් ජනතාවට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්‌ඩුව කටයුතු කර ඇති නිසාය. එදවස ඒ ක්‍රමයට විරුද්ධව සටන් වැදුණු පිරිසම ඒ ක්‍රමවේදයම අනුගමනය කිරීම යහපාලනයට නොගැලපෙන බව සඳහන් කළ යුතුය.

වැස්‌සෙන් සුළඟින් පීඩා විඳි ලක්‌වැසියනට යළිත් වර්ජන තර්ජනයෙන් පීඩා විඳින්නට සිදුව ඇත. 2017 වසර පුරාම විවිධ වැඩවර්ජන උද්ඝෝෂණ දක්‌නට ලැබිණි. මේවායින් ජයග්‍රහණය ලැබුවෝ කවරෙක්‌ද? ජයග්‍රහණය කවරක්‌ වේවා පීඩාවට පත්වූවෝ නම් අසරණ සාමාන්‍ය ජනතාව බව සටහන් කළ හැකිය.
 
 ජීවන බරින් පීඩාවිඳින ජනතාවට දුම්රිය වෘත්තීය සමිති ද උඩපැන පැන පහර දෙන බව පෙනී යයි. වෙනදාටත් වඩා වත්මනෙහි දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව අධිකය. එය බස්‌ රථයේ ගමන් කරනවාට වඩා ලාභදායී වීම එක්‌ හේතුවකි. එහෙත් දුම්රිය වර්ජනයක්‌ ආරම්භ කළ විට සිදුවන්නේ කුමක්‌ද? රජයේ සේවකයන් බහුතරය දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹට එන්නේ දුම්රියෙනි. එහෙත් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක නොවන විට රේල් පාර දිගේ දුවගෙන කොළඹට එන්නට නොහැකිය. සිල්පර කොට උඩ ගමන් කරමින් පාගමනින් කොළඹ එන්නට බැරිය. එවිට සිදුවන්නේ නිවසට වී අහස දෙස බලාගෙන සිටින්නද? නැත්නම් දුම්රිය වෘත්තීය සමිති සිය තර්ජනය ලිsහිල් කර දමා සාමදාන වනතුරු සිටිය යුතුද?
 
 මේ වෘත්තීය සමිති සෑම විටම උත්සාහ කරන්නේ තමන්ගේ පඩිපත වැඩිකර ගැනීම සඳහා පමණක්‌ සටන් වැදීමටද? රාජ්‍ය ප්‍රවාහන සේවයේ නියුතු සෑම දෙනාම මහජන සුබසිද්ධිය තකා කටයුතු කළ යුතුවේ. නමුත් මොවුන් පරාර්ථය පසෙකලා ස්‌වාර්ථය පිණිසම කටයුතු කරන බව පෙනේ. ආත්මාර්ථකාමිත්වය නිසාම රටට ජාතියට සිදුව ඇත්තේ විශාල විනාශයකි. එය නිවැරදි කළ හැක්‌කේ කෙසේදැයි වහා සොයා බැලිය යුතුය. තමන් ගැනම පමණක්‌ සලකන පිරිස්‌ නිසා අසරණ මහජනතාව පීඩාවිඳින අයුරු දකින්නට ලැබීම කනගාටුදායකය. දුම්රිය වර්ජනය පිළිබඳව රූපවාහිනි නාලිකාවක පළ වූ ප්‍රවෘත්තියක එක්‌ කෝපයට පත් දුම්රිය මගියෙක්‌ 'ඔබට සතුටුයිද දැන්' යනුවෙන් අසන අයුරු වීඩියෝගතවී තිබිණි. එයින්ම මේ වර්ජනයට එරෙහි මහජන කෝපය වඩා හොඳින්ම පෙනී යයි. මේ කෝපය නිමවන්නේ කවදාද? කොතනින්ද?
 
 දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට පත්කර ඇත. මේ තර්ජන වර්ජන නිසා සිදුවන මහජන පීඩාව අවම කිරීමේ අරමුණින් රජය එම පියවර ගෙන ඇති බව පැහැදිලිය. එදා ඛනිජතෙල් වර්ජනය සිදුවන විට ද කොලොන්නාව ඛනිජ තෙල් නිමාව හමුදාව භාරයට ගෙන තෙල් සැපයීම ආරම්භ කළා සේම මෙවර ද දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීම හමුදාවට භාරදිය යුතුය. විශ්‍රාමික දුම්රිය රියෑදුරන් හමුදා ආරක්‍ෂාව යටතේ හෝ යොදවා වහාම දුම්රිය ගමන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම අත්‍යාවශ්‍යය.
 
 වෘත්තීය සමිති ඉල්ලීම් වෙනුවෙන් කන්දීම අවශ්‍යය. නමුත් මහජනයා පීඩාවට පත්කරමින් තලාපෙලමින් ලබන වෘත්තීය ජයග්‍රහණය කුමක්‌ද? එය සැබෑ මහජන අරගලයක්‌ද? තම වැටුප පමණක්‌ ගැන සිතන බඩ ගැන පමණක්‌ වන අරගලයකි. එබැවින් මෙම වර්ජනයට බුද්ධිමත්ව මුහුණදීම රජයේ වගකීමයි
 

සෑම මසකට වරක්‌ දෙවරක්‌ මෙරට වැසියන්ට සිත්සේ අත්විඳීමට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්‌ වේ. එය ලැබෙන්නේ නොමිලේමය. මේ වරප්‍රසාදය වර්ජන අත්දැකීමයි. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ වර්¨ජන අත්දැකීමට මුහුණදිය යුතුය. මේ නිසා ලාංකිකයෝ ප්‍රීතියෙන් ද කෝපයෙන් ද?
 
 රට ගොඩගන්නට නම් මේ වර්ජන සංස්‌කෘතියට තිත තැබිය යුතුය. ලක්‍ෂ ගණනින් පඩි ලබන දුම්රිය රියෑදුරෝ ද තම පඩිපත කුඩා යෑයි කියමින් දින ගණනක්‌ දුම්රිය නවතා වර්ජන කෙළියෙහි යෙදෙති. ලක්‍ෂ ගණනක දරු ප්‍රජාවක්‌ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටියද ඔවුනට ප්‍රශ්නයක්‌ නැත. මගියා දුම්රියට යට වුවද පාරේ නිදාගත්ත ද තම ඉල්ලීම් ජයග්‍රහණය කරන්නේ නම් ඊට වඩා සැනසුමක්‌ කොහිද?
 
 මහජනතාව නම් මේ වර්ජන ගැන බලවත් කෝපයෙන් පසුවන බව රහසක්‌ නොවේ. මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමින් ඔවුන් පවසන්නේ කුමක්‌ද? දුම්රිය පෞද්ගලිකකරණය කළ යුතු බවයි. නැත්නම් හමුදාව යොදවා හෝ මේ අත්‍යවශ්‍ය සේවා නොකඩවා පවත්වාගෙන යා යුතු බවයි. දුම්රිය සේවය රජය සතු නිසා වර්ජකයෝ මස්‌ රාත්තලම ඉල්ලන බව මහජනතාවට වැටහී ඇත්ද? රාජ්‍ය අංශය විසින් වේවා පෞද්ගලික අංශය විසින් වේවා මහජනයා වෙනුවෙන් සලසන සේවා අඛණ්‌ඩව ක්‍රියාත්මක විය යුතු බව මහජන අදහසයි. උදේට දුම්රියෙන් ආ මගියාට හවසට නිවස බලා යැමට දුම්රියක්‌ නැත්නම් එහි කාර්යක්‍ෂමතාව කුමක්‌ද? වර්ජකයන් හුරතල් කිරීමෙන් රටට යහපතක්‌ නොවන බව සාමාන්‍ය මහජන මතය වී ඇත. එම නිසාම මේ වෘත්තීය සමිති දෙස සාමාන්‍ය වැසියා බලන්නේ කෝපයෙනි. ඒ කෝපය අතිශය සාධාරණය.
 
 මාස්‌පතා සිදු වන වර්ජන නිසා මේ කෝපය ඉහ වහා යයි. කෝපය නිසාම දුම්රිය ද පෞද්ගලිකකරණය විය යුතු යෑයි ඔවුහු පවසති. අකාර්යක්‍ෂම රාජ්‍ය සේවය රටේ දියුණුවට බාධාවකි. එලෙසම වෘත්තීය සමිති මාෆියාවක්‌ ද රට තුළ ක්‍රියාත්මක වන බව පැහැදිලිව සටහන් කළ යුතුය. කවර ආණ්‌ඩුවක්‌ බලයට පත්වුවද ඒ සියලු දෙනාට මේ වෘත්තීය සමිති මාෆියාවට දණ නැමීමට සිදු වේ. එය රටේ ඉදිරි ගමනට බාධාවකි. මේ වෘත්තීය සමිති මාෆියාවට හසුවන සාමාන්‍ය ජනයා ගිරයට අසු වූ පුවක්‌ ගෙඩිය මෙනි. වෘත්තීය අරගල ජයග්‍රහණය ගැන වෙනුවෙන් පමණක්‌ සිතන මේ කණ්‌ඩායම් මහජන පීඩාව ගැන කිසිම විටක කල්පනා කරන බවක්‌ නම් නොපෙනේ. මොවුන් සතුටු වන්නේ මහජන පීඩාව තවත් උග්‍ර වූ විටදීද?
 
 සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජන කළ යුතුය. සේවක අයිතීන් දිනාගැනීම සඳහා සටන් කළ යුතුය. නමුත් තම අයිතිය ගැන පමණක්‌ සිතීම සාධාරණද? තම සේවාව මහජන සුබසිද්ධිය පිණිස බව මොවුන් නොදන්නේද? තමන්ට පඩි ගෙවනු ලබන්නේද මහජන බදු මුදලින් බව මොවුන් නොදන්නේද?
 
 වර්ජන නිසා රැකියාවට යැමත් තිත්ත වී ඇතැයි දුම්රිය මගියෝ පවසති. සිත් අමනාපයෙන් මානසික අසහනයෙන් රැකියා ස්‌ථානයට ගොස්‌ සේවය කළ නොහැක. මේ සියලු අමනාපයන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් නොමිලයේ සපයයි. එම නිසාම ලාංකිකයෝ කෝපයෙනි. ඒ මේ ඊනියා වර්ජන රැල්ලට එරෙහිවය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles