Divaina - ගෙදර යන ගමන්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත‍්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.
 
 කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් සම්බන්ධීකරණ ලේකම්වරුන්, මාධ්‍ය ලේකම්වරුන්, කාර්යාල කාර්ය සහායකයන්, පෞද්ගලික සහකාරවරුන්, පර්යේෂණ සහකාරවරුන් 700 ක පමණ පිරිසක් මෙසේ ස්ථිර කිරීමට නියමිතය.
 
 ජනාධිපතිවරණය පැවැත්වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී මෙසේ හදිසියේ අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලයේ 700 ක් ස්ථිර කිරීම රාජ්‍ය සේවා කටයුතුවලට අදාළ සියලූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව අපගේ අදහසයි.
 
 නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට ආසන්න පිරිසක් සිටිති. එම කාර්ය මණ්ඩලවල කළමනාකරණ සහායකයන් පස්දෙනකු සිටින අතර මාධ්‍ය ලේකම්වරයා ද ඇතුළු තවත් පස්දෙනෙක් ද සිටිති.
 
 මේ වන විට ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි දේ සිදු කිරීම කිසි ලෙසකින් නොකළ යුතු බව අපගේ අදහසයි.
 
 අනෙක් අතට අමාත්‍ය කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේදී නියමිත බඳවා ගැනීමේ ක‍්‍රමවේද කිසිවකුත් භාවිතා නොවන බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම ඇතැම් ඇමැතිවරුන් විසින් මේ තනතුරු තමන්ගේ පවුලේ සාමාජිකයන් හෝ වෙනත් සමීපතමයන් බඳවා ගනිති. එම නිසා මොවුන් සේවයේ ස්ථිර කිරීම කළහොත් මේ මැති ඇමැතිවරුන් ඉවත්ව ගිය පසු මේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නැත. එහෙත් ඔවුන් රාජකාරියක් ඉටු නොකළ ද ඔවුන් රජයේ සේවකයන් බැවින් සෑම මාසයකම ස්ථිර වැටුපක් මොවුන්ට ගෙවිය යුතුය. එය රටට අනවශ්‍ය සුවිශාල බරකි.
 
 එසේම ශ‍්‍රී ලංකාව ඇමැතිවරුන් පැටව් ගසන රටක් බැවින් අනාගතයේ මුළු පාර්ලිමේන්තුවම ඇමැතිවරුන් වන නව ව්‍යවස්ථා පවා සම්මත කර ගතහොත් එය ද පුදුමයක් නොවේ. අනෙක් අතට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇමැති මණ්ඩලය සීමා කෙරුණ ද කවර හෝ පක්ෂයක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් අටවා ගෙන ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට අපේ රටේ දේශපාලනඥයෝ සමත්ය.
 
 මේ නිසා මෙවැනි සේවා ස්ථිර කිරීම් අතිශය භයානක මෙන්ම රටක සිදු නොකළ යුතු කාරණා ලෙස අපි දකින්නෙමු.
 
 අනෙක් අතට මේ වන විට අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ විවිධ වරදාන හා වරප‍්‍රසාද මේ වන විට අපේ රට මැති ඇමැතිවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට හා ඉහළ රජයේ නිලධාරීන්ට හිමිව තිබේ. වසර පහක සේවාවකින් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම, තීරුබදු රහිත වාහන ආදී බොහෝ වරප‍්‍රසාද මැති ඇමැතිවරුන්ට හිමි වේ. එසේම රජයේ ඉහළ නිලධාරීන්ට ද බදු සහන යටතේ වාහන හිමිවේ. මේ අය අතරින් බොහෝ දෙනකු තමන්ට ලැබෙන බදු රහිත වාහන බලපත‍්‍රය විකුණා ගනිති. එය මේ වන විට පුවත්පත් දැන්වීම් හරහා වාහන බලපත් විකුණන තරමට රටේ නීති ගත කර ගෙන තිබේ. වැඩ වර්ජන මැද මෙවැනි ඉල්ලීම් නීතිගත කරගන්නට ඇතැම් වෘත්තීයවේදීන් සමත් වී තිබේ.
 
 සැබැවින්ම මේ බොහෝ දෙනකුට අතීතයේ අඩු වැටුප් තල තිබීම නිසා ඒ කාලයේ මෙවැනි වරප‍්‍රසාද ලබා දීමේ අසාධාරණයක් නොමැත. එහෙත් මේ වන විට මොවුන්ගේ වැටුප් ඉතාම ඉහළය. එවැනි ඉහළ වැටුපක් ලබන අයට රටේ සෙසු ජනතාව ගෙවන බදු ගෙවා වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබේ. එම නිසා වහාම මේ තීරු බදු රහිත හෝ බදු සහන යටතේ වාහන පර්මිට් ලබාදීම නතර කළ යුතුය.
 
 එසේ නොවන්නේ නම් මේවා කිසිසේත් රටට ඔරොත්තු නොදෙන බව අපගේ අදහසයි. රටේ සාමාන්‍ය ජනතාව විවිධ අපහසුතා දරාගනිමින් එක්තරා වරප‍්‍රසාද ලාභීන් පිරිසක් නඩත්තු කිරීමේ ක‍්‍රමවේදයට වහාම තිත තැබිය යුතුය.
 
 ඉදිරි සති අන්තයේ අභිනවයෙන් පත්වන ජනාධිපතිවරයාවත් මේ සම්බන්ධයෙන් නිසි පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. රටේ සමස්ත ජනතාවට සෙත සැලසීම මිස වරප‍්‍රසාද ලාභීන්ට සෙත සැලසීම දැන්වත් නතර කළ යුතුව තිබේ.
 
 කෙසේ වෙතත් සේවකයන් ස්ථිර කිරීමේ කැබිනට් පත‍්‍රිකා සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා මැද මේ වන විට ඒවා ඉවත් කරගෙන ඇති බවද සඳහන් වන අතර මෙවැනි දේ අනාගතයේදීවත් යළි සිදු නොකරන්නට වගකිවයුත්තන් කටයුතු කළ යුතු බව අපගේ අදහසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles