Divaina - වර්ජනවලට මුහුණ දීම!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ජනාධිපතිවරණ නාම යෝජනා අවසන්වීමත් සමග ජනාධිපතිවරණ සටන ආරම්භ වී තිබේ. එක ජයග‍්‍රාහකයකු හැර අන් සියලූ අපේක්ෂකයෝ පරාජය වන ජනාධිපතිවරණ සටනට නාම යෝජනා භාර ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මැතිවරණය අවසන් වන තුරු වැඩ වර්ජන නවත්වන ලෙස වැඩ වර්ජකයන්ගෙන් ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කරන ලදී. සැබවින්ම එය ඉතාම කාලෝචිත ඉල්ලීමකි.
 
 පසුගිය දිනවල ක‍්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනවලින් රටේ ජනතාව ඉමහත් අපහසුවට පත්වූ බව රහසක් නොවේ. විශේෂයෙන්ම වැඩ වර්ජනයේ නිරතවූ බොහෝ සේවක ශ්‍රේණි ඉතාම ඉහළ වැටුප් හා දීමනා ලබන්නෝ වූහ. එසේ තිබියදී අතිශය අසාධාරණ ලෙස සාමාන්‍ය ජනතාව අපහසුවට පත් කරමින් කරන ලද වැඩ වර්ජන රටේ සමස්ත ජනතාව පිළිකුලෙන් යුතුව හෙළා දකිති.
 
 දින දොළහක් තිස්සේ ඇදී ගිය දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය රියැදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවෝ තීරණය කර තිබේ.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග වෘත්තීය සමිති නියෝජිතයන් සිදුකළ සාකච්ඡුාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමග කළ මේ සාකච්ඡුාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරීමේ තීරණයට එළැඹි බව සඳහන්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජකයන් සියලූම දෙනා පාහේ ඉතාම ඉහළ වැටුප් දීමනා සහ අතිකාල ලබාගන්නන්ය. ඔවුන් බහුතරයක් රුපියල් ලක්ෂය, ලක්ෂ එකහමාර හා ලක්ෂ දෙක ආදී ලෙස වැටුප් හා දීමනා ලබන අතර ඇතැමුන් රුපියල් ලක්ෂ දෙකහමාරක් හෝ ඊට ආසන්න වැටුප් හා දීමනා ලබති. මේ මුදලත් නොසෑහෙන බවට කරන මේ වැඩ වර්ජනවලට එරෙහිව දැඩි පියවර ගත යුතු බව අපගේ අදහසයි.
 
 දුම්රිය වැඩ වර්ජනය මේ අවස්ථාවේ අවසන් වුවද එය ඉදිරි දිනවල කවර හෝ තීරණාත්මක අවස්ථාවක යළිත් මතු වනු ඇත. එහි වෘත්තීය සමිති එකසිය ගණනක් ඇති බැවින් ඒ කවර හෝ වෘත්තීය සමිතියක් මුල් වීමෙන් මේ වැඩ වර්ජන ඇති විය හැක. එම නිසා යළිත් දුම්රිය වැඩ වර්ජනයක් ඇති නොවීම සඳහා රජය නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය.
 
 දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් මේ ආකාරයට වැඩ වර්ජනය කරන්නේත් අධික අතිකාල දීමනා ලබන්නේත් ඔවුන්ගේ වෘත්තීන්ට බඳවා ගැනීම්වලදී ඔවුන් විසින්ම දමා ගෙන ඇති සීමාවන් නිසාය. අතීතයේ දුම්රිය එන්ජින් රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ආදී බොහෝ දෙනා බඳවා ගෙන ඇත්තේ අට ශ්‍රේණිය සමතුන්ය. ඇතැම් ශ්‍රේණිවලට මෙය ක‍්‍රමයෙන් ඉහළ දමා සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලටත් එයින් නොනැවතී උසස් පෙළ විද්‍යා විෂයන් දක්වාත් ඉහළ දමා බඳවා ගැනීම් සීමා කර එය විශේෂ වෘත්තියක් බවට පත් කර ගැනීමට මේ වෘත්තීකයන් කටයුතු කළහ. උසස් පෙළ විද්‍යා විෂය සමතුන් හෝ උපාධිධාරීන් දුම්රිය රියැදුරු, නියාමක, පාලක හෝ දුම්රිය ස්ථානාධිපතිවරුන් ලෙස යෑමට එතරම් ඉදිරිපත් වන්නේ නැත. අනෙක් අතට ගමනාන්තය දන්නා ස්ථානයකට පීල්ලක් දිගේ දුම්රියක් ගෙන යන්නටත් කොඩියක් වනන්නටත් ටැබ්ලටයක් දෙන්නටත් උසස් පෙළ විද්‍යා විෂයන් සමත්වීම එතරම් අවශ්‍ය නැත. අතීතයේ අට පාස් මේ වෘත්තිකයන්ද කළේ මේ රාජකාරියමය. එම නිසා වහාම මේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍ය පෙළ දක්වා පහළ දමා වැඩි පිරිසකට මේ වෘත්තීන්ට ඇතුළු වන්නට මග පාදන ලෙස අප රජයට බලකර සිටින්නෙමු.
 
 එසේම ශ‍්‍රී ලංකාව තුළ අදාළ වෘත්තීන් සඳහා වහාම පුහුණු ආයතන ආරම්භ කරන ලෙසද විදේශ රැුකියා සඳහා පවා මෙම වෘත්තිකයන් පුහුණු කරන ලෙසද ඒ හරහා මේ ඒකාධිකාරය අවසන් කරන ලෙසද අප රජයට බලකර සිටින්නෙමු. එම පුහුණුව නොමිලේ ලබාදී වසර පහක කාලයක් මෙරට සේවය කර විදේශ ගතවන්නට අවස්ථාව ලබාදීම ද රජයට අවශ්‍ය නම් සිදු කළ හැක.
 
 එසේම ත‍්‍රිවිධ හමුදා සඳහා මේ වෘත්තිකයන් පුහුණු කර හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට වෙනම කණ්ඩායම් සුදානම් කරන ලෙසට ද අප රජයට බලකර සිටින්නෙමු. රටක සාමාන්‍ය ජනතාවට එදිනෙදා කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීමට හැකි වටපිටාවක් ඇති කිරීම රජයේ වගකීමකි. එය ජනතාවගේ මූලික අයිතියකි. ඊට බාධාකරමින් අසාධාරණ ලෙස කටයුතු කරන කවර අන්දමේ වෘත්තීය සමිතියක් වුවද මට්ටු කිරීමට කිසිදු ජනතා විරෝධයක් නොමැත. අසාධාරණ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා රජය ජනතාව වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගන්නේ නම් ජනතාවද රජයේ එවැනි කටයුතු වෙනුවෙන් පෙනී සිටිනු ඇත. රජයට එවැනි කොන්දක් නොමැති නම් ජනතාව නීතිය අතට ගනු ඇත. දැන්වත් වෘත්තීය සමිති වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් ජනතාව විසින් ඔවුන්ට පාඩම් උගන්වන දිනය වැඩි ඈතක නොවේ.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles