Divaina - අලූත් කඳු 57 ජාතික උරුමයක් කරමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි ස්වභාවික කඳු පන්තිවලට අමතරව නව කඳු විශේෂයක් පොළොවෙන් මතුවෙමින් තිබේ. මෙම කඳු හඳුන්වන්නේ ‘කුණු කඳු’ නමිනි. භූගෝලීය විiාව අනුව කඳු උපදින්නේ මහද්වීපික තටකයේ භූතල නොහොත් ‘ප්ලේට්’ එකිනෙක ගැටීමෙන් වුවද ලංකාවේ මේ කුණු කඳු උපදින්නේ රාජ්‍ය පාලනයේ අකාර්යක්‍ෂමතාව නොහොත් කුසීතකම නිසාය. මේ වන විට රට පුරා එවැනි කුණු කඳු 57 ක් ගොඩගැසී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. රජයේ වගකිව යුතු ඇමැතිවරයකු ලෙස එවැනි ‘කුණු’ කතාවක් හෙළිදරව් කිරීමෙන් ඇමැතිවරයා කර ඇත්තේ රට හමුවේ ඇති බරපතළ අනතුරක් පෙන්වා දීමය. නමුත් ඛේදවාචකය වන්නේ එම අනතුරට මුහුණදීමට රජයට කිසිදු යාන්ත‍්‍රණයක් නොතිබීමය.
 
 ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව තිබූ කුණු කඳු දෙකක් වන්නේ බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ලය. බ්ලූමැන්ඩල් කුණු කන්දේ අප ජලය නොහොත් කුණු වතුර ටික කොළඹ වෙරළ තීරය දිගේ මීගමුව දක්වා පැතිර යෑමට පටන් ගැනීමත් සමග එම කුණු කන්දට විකල්පයක් ලෙස මතුවූ අනෙක් කුණු කන්ද වූයේ මීතොටමුල්ලය. 2017 වසරේ අපේ‍්‍රල් 14 වැනිදා මෙම කුණු කන්ද නායයන්නේ අසරණ මිනිසුන් 32 දෙනකු මරණයට පත්කරමින් සහ අට දෙනකු අතුරුදන් කරමිනි. මෙම අතුරුදන් වූ අට දෙනා තවමත් ගෙදර පැමිණ නැත. කුණු කන්දට යටවී විනාශ වී ගිය නිවාස ගණන 145 කි. ශ‍්‍රී ලංකාවේ කසළ කළමනාකරණයේ නිරුවත හෙළිදරව් වූයේ මීතොටමුල්ල නායයෑමත් සමගය. එම ඛේදවාචකයෙන් පසු රටේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා සංවේදී, දේශපේ‍්‍රමී සහ විiාත්මක යෝජනා ඉදිරිපත් වුවද ඒ කිසිවක් තවමත් කි‍්‍රයාත්මක කර ගැනීමට අපට හැකිවී නොමැත. මීතොටමුල්ල කුණු සංවාදයෙන් ක‍්‍රියාත්මක වූ එකම සැලසුම වූයේ කොළඹ කුණු ටික කිලෝ මීටර් 152 ක් දුරින් පිහිටි අරුවක්කාලූ කැලයේ සිමෙන්ති වළවල්වල පිරවීම පමණි. මෙම කුණු ප‍්‍රවාහනය සඳහා දිනකට රුපියල් ලක්‍ෂ 30 ක් වැයවන බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසා තිබිණි.
 
 පසුගිය රජය සමයේ මෙම කුණු ප‍්‍රවාහනයට වෙනම දුම්රිය පද්ධතියක් මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි. වසරකට රුපියල් කෝටි හය දහසක් පමණ පාඩු ලබන දුම්රිය සේවය, කුණු ප‍්‍රවාහනයට යොදා ගැනීම නරකම නැත. කනගාටුවට කරුණ වන්නේ මේ සියලූ ‘කුණු සැලසුම්වලට’ වැයවන මුදල් ගෙවීමට සිදුවන්නේ අසරණ පොදු ජනතාවට වීමය.
 
 රටේ කසළ කළමනාකරණය මේ වනවිට ව්‍යසනකාරී පාරිසරික අර්බුදයක් බවට පත්වෙමින් තිබේ. වත්තල ප‍්‍රාදේශීය සභාව විසින් මුතුරාජවෙල සායනික අපද්‍රව්‍ය දහනය කරන මධ්‍යස්ථානයේ වෙළෙඳ බලපත‍්‍රය අහෝසි කිරීමෙන් සායනික කුණු කන්දක් මතුවීමේ අවදානමක් මතුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අනිල් ජාසිංහ පවසන්නේ මේ වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් 39 ක සායනික අපද්‍රව්‍ය දහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය. වත්තල ප‍්‍රාදේශීය සභාව ඉතා ඉක්මණින් මෙම අර්බුදය විසඳාගත යුතුය. එසේ නොවුණහොත් නුදුරේදීම ලංකාවේ කඳු පන්තියට ‘සායනික කුණු කන්දක්’ එකතු වනු ඇත.
 
 ශ‍්‍රී ලංකාවේ කසළ අර්බුදයට හොඳම විසඳුම වන්නේ කාබනික පොහොර සහ විදුලිය නිපදවීමය. 2016 වාර්ෂික මහ බැංකු වාර්තාවේ සඳහන් පරිදි නාගරික ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් එකකින් කිලෝ වොට් පැය 481 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකිය. මෙම අගය දිනකට ලංකාවේ ගෘහ ඒකක 200 ක් මගින් පරිභෝජනය කරනු ලබන විදුලි බලයට සමාන බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
 
 මේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කයේ එකතු වන කසළවලින් විදුලිය නිපදවන බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකරමින් තිබේ. මෙම
 
 බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 240 ක් එකතු කිරීමට නියමිතය. මෙවැනි බලාගාර පළාත් මට්ටමින් ඉදිකළ හැකිනම් රටේ කසළ අර්බුදයට පමණක් නොව බලශක්ති අර්බුදයට ද එය හොඳ විසඳුමක් වනු ඇත. නමුත් අර්බුදය වන්නේ මේ සඳහා ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය ඉතා දුර්වල මට්ටමක පැවතීමය. ඊට බලපා ඇත්තේ ආණ්ඩුවට කසළ කළමනාකරණය සම්බන්ධයෙන් නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොතිබීමය. පසුගිය ආණ්ඩුවට තිබුණේ කොළඹ කුණුවලින් පුත්තලමේ සිමෙන්ති වළවල් පිරවීමේ සැලසුමකි. වර්තමාන ආණ්ඩුවද පුත්තලම් චින්තනයෙන් එළියට ගොස් නැත. රටේ කසළ වළ දැමීමට ආණ්ඩුවක් අවශ්‍ය නැත. එය මහජනතාවට වුවද කළ හැකි කාර්යයකි. රටක ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ රටේ දැවෙන අර්බුදවලට විසඳුම් ලබාදිය හැකි විiාත්මක යාන්ත‍්‍රණයකි. අවාසනාව වන්නේ එවැනි යාන්ත‍්‍රණයක් ජනතාවට සිහිනෙන්වත් නොපෙනීමය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles