Divaina - වැටුපේ වෙනස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

රට පුරා රාජ්‍ය සේවකයෝ වරින්වර විවිධ හේතු මත වැඩ වර්ජන පවත්වමින් සිටිති. ජනතාව පත්වන අපහසුතා සළකන කල කවර හේතුමත හෝ පවත්වන වැඩ වර්ජන අප අනුමත නොකරන්නෙමු. මේ බොහොමයක් වැඩ වර්ජනවලට හේතුවී ඇත්තේ වැටුප් විෂමතා බව පෙනේ.
 
 ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් රජය විසින් වරින් වර ඇතැම් ශ්‍රේණිවලට පමණක් වැටුප් වැඩි කිරීම මේ බොහෝ විෂමතාවලට බලපා තිබේ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය කාලයේ සිදු කළ සුවිශාල වැටුප් වැඩිකිරීම ඊට සමාන්තර ශ්‍රේණි රැුසක වැටුප් විෂමතා ඇතිකර තිබේ. මේ වන විට රජයේ අධිනීතිඥවරයකුගේ සියලූ දීමනා සහ ප‍්‍රතිලාභ සහිත මුළු වැටුපේ එකතුව රුපියල් තුන්ලක්ෂ අසූහතර දහසකි. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ දීමනා සහිත වැටුප හාරලක්ෂ විසිපන්දහසකි. සාමාන්‍ය රජයේ සේවකයකුගේ වැටුප රුපියල් තිස්පන් දහසත් හතළිස් දහසත් අතර වෙයි. මේ අතර ලබන බදාදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.
 
 රාජ්‍ය නිලධාරීන් වෙත කරන අසත්‍ය චෝදනා සහ දේශපාලන බලපෑම් වහාම නවත්වන ලෙසත්, පත්කිරීම් උසස්කිරීම් සහ ස්ථාන මාරු කිරීම් නියමිත පටිපාටියකට අනුව සිදුකර පුරප්පාඩු වහාම පුරවන ලෙසත්, වැටුප් හා දීමනා විෂමතාවට වහා විසඳුම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන බව සඳහන්ය.
 
 එසේම පසුගිය දිනවල ඔවුන් සංකේත වර්ජනයක නිරතවූ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය ආයතන රැුසක මෙම වර්ජනය ක‍්‍රියාත්මක වීමෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ. අනෙක් අතට ඉදිරි මැතිවරණ සඳහාද ඔවුන්ගේ සේවය තීරණාත්මකය.
 
 රටේ සමස්ත වැඩ කරන ජනතාවට ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දිය යුතු බව අපගේ අදහසයි. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල විවිධ ශ්‍රේණි හා විවිධ ආයතන වශයෙන් සුවිශාල වැටුප් විෂමතා ඇති බව රහසක් නොවේ.
 
 රටේ සාමාන්‍ය රජයේ ලිපිකරුවකුගේ වැටුප මෙන් පස් හය ගුණයක වැටුපක් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, වරාය වැනි ආයතනවල ලිපිකරුවන්ට ලැබේ. එම ආයතනවල රියැදුරන්ගේ වැටුප ගත්තද ඇත්තේ එවැනිම විෂමතාවයකි. සේවය කරන ආයතනය කුමක් වුවද රියැදුරු හා ලිපිකරු වැනි සේවාවල සිදුකිරීමට ඇත්තේ එකම කාර්යයකි.
 
 රටේ ඉංජිනේරු ක්ෂේත‍්‍රයේද ඇත්තේ එවැනිම විෂමතාවයකි. මහවැලියේ ඉංජිනේරුවකු ලබන වැටුප මෙන් පස් හය ගුණයක් හෝ ඊට වැඩි වැටුපක් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු ලබයි. මහවැලියේ ඉංජිනේරුවන් ජලය ගෙනවිත් විදුලි උත්පාදනය සඳහා ලබා දෙන විට එම ජලයෙන් විදුලිය උත්පාදනය කරන ඉංජිනේරුවාට එමෙන් පස් හය ගුණයක වැටුපක් ලැබීම කොතරම් දුරට යුක්ති සහගතද යන්න ගැටලූවකි.
 
 මේ නිසා කවර ආයතනයක සේවය කළද ඒ ඒ වෘත්තීන් හා ශ්‍රේණිවලට සමාන වැටුප් ලැබෙන ක‍්‍රමවේදයක් වහාම රටේ ඇති කළ යුතුව තිබේ. එසේම ඇතැම් වෘත්තීන්වලට එකට හතරේ වැටුප් වැඩිවීම්, එනම් සෙසු රජයේ සේවකයන්ට වැටුප් වැඩිවන විට එමෙන් හතර ගුණයකින් වැටුප් වැඩිවීම් වහාම නතර කළ යුතුව තිබේ. එසේ නොවන තාක් කල් මේ වැටුප් විෂමතා නැති කළ නොහැක.
 
 අනෙක් අතට බලයට එන සෑම දේශපාලනඥයෙක්ම ඉහළ වැටුප් ඇති ආයතන සේවකයන්ගෙන් පිරවීම සිදු කරනු ලබයි. සමාන වැටුප් ක‍්‍රමයක් පවතී නම් එවැන්නක් සිදු වන්නේ නැත. එවිට එම රාජ්‍ය ආයතන පාඩු ලැබීමද සීමා වනු ඇත.
 
 අනෙක් අතට රටේ ජීවන වියදම සැමට සමානය. එම නිසා පිරිසකට පමණක් ඉහළ වැටුප් ලැබීම දැඩි අසාධාරණයකි. එවිට සමාජයේ ඇති නැති පරතරය එන්න එන්නම උග‍්‍ර වනු ඇත.
 
 එම නිසා රටේ ජීවන වියදම හා අනෙකුත් තත්වයන් සලකා බලා සැමට සාධාරණ වැටුප් ක‍්‍රමයක් නිර්මාණය කරන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු. එසේම ඉහළ වැටුප් ලබන සේවකයන් සඳහා ඉහළ බදු අයකිරීමක් සිදු කරන ලෙසත් ඒ හරහා ලැබෙන මුදල පහළ වැටුප්ලාභීන්ගේ සුභසාධනය සඳහා යොදවන ලෙසද අපි රජයට යෝජනා කර සිටින්නෙමු.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles