Divaina - බෝරාවරුනි ස්තුතියි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

‘‘අපට ශ‍්‍රී ලංකාව විශ්වාසයි’’ (We believe in Sri Lanka) යන තේමාව යටතේ දින 10 ක් පුරා බම්බලපිටිය බෝරා මස්ජිදය කේන්‍ද්‍ර කර ගනිමින් පැවැති ගෝලීය බෝරා සමුළුව අවසන් වූයේ ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ සුබවාදී පණිවුඩයක් ලෝකයට ගෙන යමිනි. පාස්කු ප‍්‍රහාරයෙන් මාස 4කට පමණ පසු ඉස්ලාම් සංස්කෘතියට අදාළ දැවැන්ත ආගමික සමුළුවක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීමෙන් ආණ්ඩුව රටේ අනාගතය වෙනුවෙන් යහපත් පණිවුඩයක් සමාජගත කර තිබේ. එම පණිවිඩය වන්නේ ශ‍්‍රී ලාංකික චින්තනයෙන් කටයුතු කළහොත් රටට එල්ල වන ඕනෑම විපතක් පහසුවෙන් පරාජයට පත් කළ හැකි බවයි. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ දළදා පෙරහැර සහ බෝරා සමුළුව ද ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකිවීම රටක් ලෙස ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශාල ජයග‍්‍රහණයක් වන්නේ මේ නිසාය.
 
 අප‍්‍රියෙල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ සංචාරක කර්මාන්තය පැවැතියේ අවදානම් අඩියකය. මෙම වසරේ පමණක් සංචාරක කර්මාන්තයෙන් රටට අහිමි වන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන පහක් බවට තක්සේරු කර තිබේ. රටේ විනිමය අනුපාතිකය ස්ථාවර වන්නේ විදේශ රටවලින් ශ‍්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ආදායම මතය. එම නිසා රටට පහසුවෙන් ඩොලර් ලැබෙන සංචාරක කර්මාන්තය යළි ස්ථාවර කර ගැනීම භාණ්ඩාගාරයට ඉතා ගුණදායකය. බෝරා සමුළුවෙන් ජාත්‍යන්තර සංචාරක ප‍්‍රජාවට සුබවාදී පණිවිඩ රැුසක් ලබා දී තිබේ. එමගින් රටේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙනු ඇතැයි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.
 
 බෝරා සමුළුව නියෝජනය කිරීමට රටවල්
 
 40කින් පමණ තිස්දහසකට ආසන්න බෝරා ආගමික ජාතිකයෝ ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියහ. ඔවුන්ගේ පැමිණීමෙන් කොළඹ අවට පමණක් නොව ලංකාව පුරා සංචාරක හෝටල් සියල්ල තවමත් පිරී තිබේ. දිනපතා බම්බලපිටිය බෝරා මස්ජිදය අවට පමණක් ආහාරවේල් 60,000 ක් පමණ ඔවුන් වෙනුවෙන් පිළියෙළ විය. නමුත් ඉන් කිසිදු ආහාර වේලක් අපතේ නොයැවීමට සංවිධායකයන් වගබලා ගෙන තිබිණි. බම්බලපිටිය වීදි අවට එකතු වූ කසළ නිසි ලෙස බැහැර කරන කොම්පෝස්ට් බඳුන් සකස් කර තිබුණු අතර, සමුළුව පැවැති ස්ථානවල කසළ බැහැර කිරීමට සංවිධායකයෝ නිසි ක‍්‍රමවේද සකස් කර තිබිණි. තිස්දහසකට ආසන්න පිරිසක් දින 10 ක් පුරා ආගමික වතාවත්වල නියැළුන ද එකදු ප්ලාස්ටික් බෝතලයක් හෝ ‘ලන්ච් ෂීට්’ එකක් පාරවල්වල ඉතිරි නොවුණේ බෝරා ජාතිකයන් ආගමික භක්තියට සමානව පරිසරයට ද භක්තිමත් වූ නිසාය. ශ‍්‍රීපාද වන්දනාවේ ගොස් පොලිතීන්වලින්, ප්ලාස්ටික් වතුර බෝතල්වලින් ශ‍්‍රීපාද රක්‍ෂිතය පුරවන බෞද්ධ ජනතාව ආදර්ශයට ගත යුතු ඉතා වටිනා පාරිසරික ක‍්‍රියාදාමයන් මේවාය.
 
 ඕනෑම ආගමක අන්තවාදීහු සිටිති. ජන සමාජයක් ඉතා පහසුවෙන් විනාශ කළ හැකි ඉතා භයානක පිළිකාව වන්නේ මේ අන්තවාදයයි. නමුත් ශ‍්‍රී ලංකාවේ පාලකයන්ට එම පිළිකාවේ වේදනාව දැනෙන විට රටට වෙන්න ඕනෑ විපත සිදු වී අවසන් ය. නමුත් එම විපත මහා විනාශයක් බවට පත්කර නොගැනීමේ වගකීම පාලකයන්ට පැවරී තිබේ. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ අන්තවාදය උපන් ගෙයිම විනාශ කිරීමය.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීම අරඹා තිබේ. ඉස්ලාම් අන්තවාදීන් පමණක් පුනරුත්ථාපනය කිරීමෙන්් අන්තවාදී පිළිකාව විනාශ කළ නොහැක. ඒ සඳහා බෞද්ධ අන්තවාදීන්ව ද පුනරුත්ථාපනය කළ යුතුය. එසේ පුනරුත්ථාපනය නොවූ එක් අන්තවාදියකු පසුගියදා කළුතර බෝධිය අසලින් මහපාරේ ඇවිද ගිය ඉන්දීය බෝරා ජාතිකයන් පිරිසකට ඉතා පහත් අයුරින් බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් තිබේ. ඔහු ඉංග‍්‍රීසි භාෂාවෙන් පවසන්නේ මෙය බෞද්ධ පූජා ස්ථානයක් බැවින් මෙම ස්ථානයෙන් වහා ඉවත් වන ලෙසය. බෞද්ධ නොවන වෙනත් බොහෝ ආගමිකයන් කළුතර බෝධිය අසලින් බැස ඊට ගෞරව දැක්වීම සාමාන්‍ය සිරිතය. එය බෞද්ධයන්ගේ ආගමික පීතෘවරයා වන බුදුන්ට කරන ගෞරවයකි. එවැනි ආගමික වටිනාකම් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා මෙවැනි ගොබ්බයන් නිසා බෞද්ධාගමට අත්වන්නේ විශාල අපකීර්තියකි. එපමණක් නොව ඔහුගේ ක‍්‍රියාව ආගමික අන්තවාදයට පාර කැපීමකි. එම නිසා මෙවැනි අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට ආණ්ඩුවේ අවධානය වහා යොමු විය යුතුය.
 
 ශ‍්‍රී ලාංකික ජන සමාජය ගෝලීය ජන සමාජයක් ලෙස ඉදිරියට යෑමට නම් රටේ සාමය තිබීම අත්‍යවශ්‍යය. රට සාමකාමී වීමට නම් අන්තවාදය පරාජය කළ යුතුය. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, යෝනක ආදී සියලූ ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව පෙළ ගැසිය යුතුය. කුමන ආගමකට, කුමන ජාතියකට අයත් වුවද තමන් ඉදිරිපිට සිටින පුද්ගලයාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් බිය සැක නැති විශ්වාසවන්ත රටක් ගොඩනැඟීමට සියලූ ශ‍්‍රී ලාංකිකයන් දායකත්වය ලබා දිය යුතුය. එවැනි ‘විශ්වාසවන්ත ශ‍්‍රී ලංකාවක්’ ගොඩනැඟිය හැකි බවට විශ්වාසයක් ඇති කළ බෝරාවරුනි, ඔබට ස්තුතියි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles