Divaina - මුල් බැසගත් අන්තවාදය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයේ උණුසුම තවම පහව ගොස් නැත. පහව යනු වෙනුවට මේ පිළිබඳ කතාබහ තව තවත් උණුසුම් වනු පෙනේ. ඊට නිදසුන් දෙකක් ගෙනහැර පෑ හැකිය.
 
 ඉකුත්දා අගරදගුරු මැදුරේදී මාධ්‍ය හමුවක් පවත්වා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප‍්‍රකාශ කළේ රටේ ජනතාවට මැතිවරණයක් පිළිබඳ අවධානය යොමු කරවා රජය පාස්කු ඉරිදා ප‍්‍රහාරය යටගැසීමට ක‍්‍රියා කරන බවයි.
 
 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පත්කළ කොමිෂන් සභාව ස්වාධීන යැයි හඳුන්වනු ලැබූවත් එහි අපක්‍ෂපාතීකමක් පෙනෙන්නට නැතැයිද, මේ කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස සිටින අය, ඊට කුමන්ත‍්‍රණය කළ අය, අනුග‍්‍රහය දැක්වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු නොසලකා හැරි අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන මුදාහැරි අය දඬුවම් නොලබා නිදැල්ලේ සැරිසරන බවද උන්වහන්සේ මෙහිදී පැවසූහ.
 
 උන්වහන්සේගේ අදහස පරිදි පාස්කු ප‍්‍රහාරයට සාධාරණය ඉටු නොකර රජය සත්‍ය වසං කරන්නට බොහෝ ප‍්‍රයෝග යොදමින් සිටී.
 
 තවත් උණුසුම් කතාවක් මතු වන්නේ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන්නට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළය. ඒ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් තේරීම් කාරක සභා සාමාජික ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රශ්න කිරීම් කරන අතර තුරය.
 
 තවමත් ත‍්‍රස්ත බිය රටින් තුරන් වී නොමැති බව දිගින් දිගටම ප‍්‍රකාශ කරන සරත් ෆොන්සේකා මහතා මෙහිදීද යුද හමුදාපතිවරයාගෙන් ප‍්‍රශ්න කරන්නේ ‘‘සියල්ල තවමත් ඉවර නැහැ..... ත‍්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා නේද? යන්නය. සියල්ල තවමත් ඉවර නැහැ යන්න අපේද මතය යැයි කියන විට තේරීම් කාරක සාමාජික එම්. ඒ. සුමන්තිරන් මහතා එය ෆොන්සේකා මහතාගේ මතය යැයි වාදයක පැටලෙයි.
 
 මෙවන් කරුණුවලින් අපට පෙනී යන්නේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව තවමත් නිමා නොවුණු ගැටලූ පවතින බව නොවේද? ඊට පිළිතුරු එදින යුද හමුදාපතිවරයාගේ ප‍්‍රකාශයෙන්ම පැහැදිලි විය.
 
 පෙර කී පරිදි ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා මහතා දිගින් දිගටම පවසන්නේ මෙසේ මුල් බැසගත් ඉස්ලාම් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වසර 2-3 ක්වත් ගතවන බවකි. විටින් විට අත්අඩංගුවට පත්වන සහරාන්ලාගේ මස්සිනාලා, යාලූ හිත මිත‍්‍රාදීන් ගැන ඔහු උදාහරණයට ගනී.
 
 එසේම, පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදුකරන සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටින්නේ සෙංකඩගල ඇසළ පෙරහැර සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් යෙදිය යුතු බවය. පෙරහැර මංගල්ලය ත‍්‍රස්තවාදීන්ගේ පහසු ඉලක්කයක් බවද පවසන හෙතෙම ඊට නොපමාව ආරක්‍ෂාව ලබාදිය යුතු බව පවසයි.
 
 ඒ අනුව දැනටමත් පොලිස් භටයන් අටදහසකගේ බළ ඇණියක් ආරක්‍ෂාව සඳහා යොදවා ඇති බවද බුද්ධි අංශ ක‍්‍රියාත්මක බවද ඔහු කියයි.
 
 එසේ නම් මෙරටින් ත‍්‍රස්ත භීතිය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවට විටින් විට ජනාධිපතිවරයාද අගමැතිවරයාද කියන කතා අතරත් මෙවන් කතා අතරත් පරස්පරතා මතුවේ.
 
 රට සාමකාමී වී ඇති බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. එනමුත් අගරදගුරුතුමන් කියන පරිදි පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කරගැනීමත්, ඊට සහාය, අනුග‍්‍රහය පළකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දැඩි දුර්වලතා පවතින බව මෙන්ම මෙම ත‍්‍රස්තවාදයේ අලගිය, මුලගිය තැන් අනාවරණය කර නොගෙන ඇති බව ජනතාවගේද මතයයි.
 
 චෝදනා එල්ල වූ දේශපාලනඥයෝ තමන් අතහැරි තනතුරු යළිත් ලබාගෙන කටයුතු කරති. කිසිදු
 
 විගණනයකින් තොරව මෙරටට ගලා ආ මුදල් මගින් රජයේ ඉඩම්වල ගැටලූකාරී ලෙස අන්තවාදී සරසවි පිහිටවූ හිස්බුල්ලා වැන්නවුන් ‘‘හදිසි නීතිය යටතේවත් නැගෙනහිර සරසවිය රජයට පවරාගන්නට නොහැකි’’ බවට පාරම් බාති. බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි වැන්නවුන් ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුාවලින් තර්ජනය කරනු පෙනෙන්නේ ‘‘රටේ ශරියා නීති ඉවත් කරන හැටි අපි බලමු’’ ලෙසය.
 
 එසේම, කෝටි ගණන් මුදල් ගිණුම්ගතව තිබෙද්දී හා මවුවරුන් වඳ කළ බවට චෝදනා දහස් ගණනක් තියෙද්දී ෂාෆි දොස්තරට ඇප ලැබීමත්, වංචා කළ බවට සාක්‍ෂි ලැබෙන අමාත්‍යාංශ වෙත යළිත් රිෂාඞ් බදියුදීන්ලාම පත්කිරීමත් ගැටලූ සහගත තත්ත්වයන් නොවන්නේද?
 
 එසේම තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුනාගෙන එය තහනම් කරන්නට කටයුතු කරන ලෙස ඉල්ලා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ ‘‘ගොනුව’’ යට ගසා ගෙන සිටි බවටද චෝදනා නැෙ`ගයි.
 
 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙළිදරව් වූ කරුණු ප‍්‍රකාරව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නවාවි සහ නීතිඥ මලික් යන අය අදාළ ත‍්‍රස්ත විමර්ශනයේ ඉල්ලීම ඇතුළත් ගොනුවට වසර 2 ක් තිස්සේ අදාළ කටයුතු සිදු නොකර තබාගෙන සිටි බව හෙළිදරව් වී තිබේ.
 
 මේවා සුළුකොට තැකිය හැකි කාරණාද?
 
 එසේ තිබියදී මෙරටේ අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කර ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් එය ජනතාව මුලා කිරීමකි. සැබෑ තත්ත්වය යට ගැසීමකි.
 
 එසේ නම්, එහි ප‍්‍රතිඵලද සුළුවෙන් තැකිය හැකි නොවේ. ත‍්‍රස්තවාදය පරදවන්ට නම් දැනටමත් ආර්ථික, නීති වෙළෙඳ, ආරක්‍ෂක වැනි මර්මස්ථාන මත හොර රහසේ ක‍්‍රියාත්මක මේ ‘‘වහාබ්වාදය’’ පරදවන්නට රජය වහා කටයුතු කළ යුතුය. නැතහොත් අනාගතය තවදුරටත් භීතියෙන් ඇළලී යනු ඇත.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles