Divaina - “ෆ්‍රී වීසා” දෙන ගමන් රට ගැනත් බලන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka



ලබන මස පළමු වැනිදා සිට ලොව රටවල් 45 ක වැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 45 ක් සඳහා එලෙස නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීමේ අරමුණ වන්නේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි.
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට සංචාරකයින් පැමිණීම පහළ වැටුනු අතර සංචාරක ව්‍යාපාරය

නඟාසිටුවීම සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළඹ තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක වීසා මගින් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 14 ක් වූ අතර මීට පෙර මුදල් අයකර ලබාදුන් සංචාරක වීසා නොමිලේ ලබාදීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10 ක එනම් රුපියල් මිලියන දසදහසක පමණ පාඩුවක් සිදුවන බව සඳහන්ය. මේ මුදල මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අසීරුතා හමුවේ අතිවිශාල මුදලක් බව අපගේ හැඟීමයි.

අනෙක් අතට මෙසේ ශ්‍රී ලංකාව රටවල් රැසකට නොමිලේ වීසා ලබා දුන්නද ශ්‍රී ලංකාවට නොමිලේ වීසා ලබා දෙන්නේ සිංගප්පූරුව, මාලදිවයින ඇතුළු රටවල් කීපයක් පමණි. එම නිසා අප විසින් වීසා නොමිලේ ලබා දෙන රටවලින් අපේ රටේ වැසියන්ට ද නොමිලේ වීසා ලබා ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු බව අපගේ අදහසයි.

එපමණක් නොව මුදල් ගෙවා පවා වීසා ලබා ගන්නට ශ්‍රී ලාංකිකයන්ට විශාල කරදර රැසක් විඳින්නට සිදුව තිබේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් රැසකට වීසා ලබාගන්නට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීමට විශාල කරදර රැසකට මුහුණ දෙන්නට සිදුව තිබේ. එසේම මේ රටවල් වීසා සඳහා විශාල ගාස්තුවක් ද අය කරනු ලබයි. එසේම මේ බොහෝ රටවල් රැසකට වීසා භාරගැනීම සඳහා නියෝජිත ආයතන පත් කර තිබෙන අතර ඒවායේ සේවය කරන සේවකයන්ගේ දැඩි නීති හා අසාධාරණකම් රැසකට මුහුණ දෙන්නට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සිදුව තිබේ. අනෙක් අතට මේ නියෝජිත ආයතන රැසක සිටින සේවකයන් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන් වන අතර ඒවායේ සේවය ලබා ගැනීමට යන සිංහලයන් හට විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවන බවට චෝදනා රැසකි. එසේම ඉතාලිය ඇතුළු ඇතැම් යුරෝපා රටවලට වීසා ලබා ගැනීමට අයදුම්පත් භාරදීමට පවා බොහෝ අවස්ථාවල මාස ගණන් බලා සිටීමට සිදුව තිබේ. එසේම මේ වීසා ගාස්තුවට අමතරව මේ නියෝජිත ආයතනවල ගාස්තු අයකිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති අතර ඔවුන්ගේ සේවා ගාස්තු ලෙස අධික මුදලක් අය කිරීම ද සිදුවේ. එක්තරා නියෝජිත ආයතනයක් විදේශ ගමන් බලපත්‍රය සූදානම් බව දන්වන සාමාන්‍යයෙන් ශත විසිපහක් වැය වන එස්. එම්. එස්. පණිවිඩයක් වෙනුවෙන් රුපියල් දෙසිය පනහකට වැඩි මුදලක් මෙරට ජනතාවගෙන් අය කරනු ලබයි.

එසේම මලයාසියාව සඳහා වීසා ලබාදෙන නියෝජිත ආයතනය විසින් මලයාසියානු තානාපති කාර්යාලය විසින් අයකරන මුදල මෙන් කීපගුණයක මුදලක් තම සේවා ගාස්තුව මෙන් අයකරන බව සඳහන්ය. මේ ආකාරයට අදාළ නියෝජිත ආයතන දිනකට ලබන ලාභය රුපියල් ලක්ෂ ගණනකි.

මේ නිසා වහාම මේ නියෝජිත ආයතනවල කටයුතු සොයා බැලීම සඳහාත් ඒවායේ අයකිරීම් පාලනය සඳහාත් දැඩි පියවර ගන්නා ලෙස අපි රජයට බලකර සිටින්නෙමු. එසේම ඒ ඒ විදේශ රටවල වීසා ගාස්තු සම්බන්ධයෙන් හා සේවා ගාස්තු සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් ජනතාවට ලබා දීමට ඒ ඒ තානාපති කාර්යාල දැනුවත් කරන ලෙසටද අපි රජයට බල කරන්නෙමු.

එසේම මෙවැනි නියෝජිත ආයතන හා වීසා ප්‍රශ්න සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ නිසි ක්‍රමවේදයක් වහාම ඇති කරන ලෙසට ද අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

අනෙක් අතට මෙසේ මෙරටට පැමිණි පසු නොමිලේ වීසා ලබාදීම හරහා විදේශීය ත්‍රස්තවාදී සංවිධානවලට අයත් සාමාජිකයන් මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුය.
මේ සියලු කරුණු සලකා බලා වීසා ලබාදීමේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාව රැකෙන පරිදි මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන පරිදි අනෙකුත් රටවලටත් ශ්‍රී ලංකාවටත් සමානාත්මතාවය ලැබෙන ක්‍රමවේදයක් භාවිත කරන ලෙසටද තෙවැනි පාර්ශව නියෝජිත ආයතන ජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසට ද අපි නැවත නැවතත් රජයට බලකර සිටිමු.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles