Divaina - දඩ දඬුවම් හා බීමත් රියැදුරන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ඉකුත් 5 වැනිදා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කෙරිණි. ඒ අනුව ඊයේ (28දා) වන විට බීමත් රියැදුරන් 6000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.රජය එම බීමත් රියැදුරන්ගෙන් අයකරගෙන ඇති දඩ මුදල රුපියල් මිලියන 142 කි.
 
 මෙම වසරේ අපේ‍්‍රල් 1 වැනිදා සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමට දෙන දඬුවම් වැඩිකරනු ලැබීය. ඒ අනුව මත්පැන් පානය කර පැදවුවහොත් එතෙක් පැවැති රුපියල් 4000 - 7500 දක්වා වූ දඩය රුපියල් 25000 සිට 30000 දක්වා වැඩි කෙරිණි. ඊට අමතරව මාස හයකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමක් හෝ රියැදුරු බලපත‍්‍රය අහෝසි කිරීමටද නව දඩ පැනවීම අනුව ක‍්‍රියාත්මකය.
 
 බීමත්ව රිය පදවා මරණයක් සිදුකළහොත් කලින් පැවැති දඬුවම වූයේ අවුරුදු දෙකේ සිට අවුරුදු 10 දක්වා සිරදඬුවමකි. රියැදුරු බලපත‍්‍රයද අහෝසි කරනු ඇත. නව දඩ පැනවීම අනුව එම දඬුවමට අමතරව රුපියල් 100000 සිට 150000 දක්වා දඩයකටද යටත් කෙරෙනු ඇත.
 
 බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුට තුවාලයක් සිදුකළහොත් එතෙක් පැවැති රුපියල් 6000 සිට 15000 දක්වා වූ දඩය නව දඩ ක‍්‍රමය යටතේ රුපියල් 50000 සිට රුපියල් 100000 දක්වා වැඩිකර ඇත. මීට අමතරව අවුරුදු පහකට නොවැඩි බන්ධනාගාර ගතකිරීමටත් රියැදුරු බලපත‍්‍රය අහෝසි කිරීමටත් නව දඩ ක‍්‍රමය අනුව හැකියාව තිබේ. බීමත් රියැදුරකු යම් අයකුට සුළු තුවාලයක් සිදුකළහොත් නව දඩ ක‍්‍රමය අනුව රුපියල් 30000 සිට රුපියල් 50000 දක්වා දඩයකට යටත්ය. ඊට අමතරව අවුරුදු එකකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමක් හෝ රියැදුරු බලපත‍්‍රයද අහෝසි කිරීමටද ඉඩකඩ ඇත.
 
 බීමත්ව රිය පැදවීමට දඩ හා දඬුවම් මෙතරම් වැඩිකර තිබියදීත් බීමත් රියැදුරන් ඇල්ලීම සඳහා විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිිබියදීත් දහස් ගණනින් බීමත් රියැදුරන් කොටුවීම සලකා බැලිය යුතු සමාජ ප‍්‍රශ්නයක් බව අප තේරුම් ගත යුතුයි.
 
 බීමත්ව වාහනයක සුක්කානම අතට ගන්නා රියැදුරු ඔහුගේ ජීවිතය පමණක් නොව අන් අයගේ ජීවිතද අනතුරේ හෙළීම කනගාටුදායකය. එනිසා බීමත්කම ප‍්‍රමාදයට හේතු වන බව අවබෝධ කරගෙන ඉන් වැළකීම රියැදුරන්ගේ සමාජ වගකීමකි.
 
 දඩ සහ දඬුවම් වැඩි කරද්දී දහස් ගණනින් බීමත් රියැදුරන් දිගින් දිගටම කොටුවේ නම් අදාල මෙහෙයුම් සුවිශේෂී කාලයකට පමණක් සීමා නොකර දිගින් දිගටම ක‍්‍රියාත්මක කිරීමට පොලිස් රථ වාහන අංශය පියවර ගත යුතුය.
 
 ඊට අමතරව බීමත්ව අත්අඩංගුවට ගන්නා රියැදුරන් පුනරුත්ථාපනය කිරීම සඳහාද රජයේ අවධානය යොමු විය යුතුය. දඩ සහ දඬුවම් මගින් යම් ප‍්‍රමාණයකට මෙවැනි ක‍්‍රියා පාලනය කළ හැකි වුවද එය සියයට සියයක සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන ක‍්‍රමවේදයකැයි කිව නොහැක.
 
 බීමත් රියැදුරන් ඇල්ලීම සඳහා සුවිශේෂී මෙහෙයුම් කි‍්‍රයාත්මක වී තිබියදීත් ඊයේ වන විට හයදහසකට අධික රියැදුරන් පිරිසක් බීමත්ව හසුවන්නේ ඒ නිසාවෙනි. ශ‍්‍රී ලංකාව තුළ සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් පවතින මෙම කාරණය ගැන විද්‍යාත්මක හැදෑරීමක් කළ යුතු කාලය එළැඹ ඇත. ඒ සඳහා සමාජ විද්‍යාඥයන්ගේ හා ඊට අදාළ අන් පාර්ශවයන්ගේ සුවිශේෂී දායකත්වය ලබාගත යුතුව ඇත. එසේ නොමැතිව මෙම ප‍්‍රශ්නය අඳුරේ අතපත ගෑමෙන් අප අපේක්‍ෂා කරන ප‍්‍රතිඵල ළඟාකරගත නොහැකි වනු ඇත.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles