Divaina - කසඩ වැඩ සහ කුණු කතා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ශ‍්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර ‘‘කුඩු’’ තිප්පලක් මෙන්ම ජාත්‍යන්තර ‘‘කුණු’’ (කසළ) තිප්පලක් බවටද පත්ව තිබේ. ඒ බව ඉතා හොඳින්ම අනාවරණය වූයේ එංගලන්තයේ සිට මෙරටට ආනයනය කරන ලද කසළ කන්ටේනර් 130 කටත් වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගැනීමත් සමගය. ඉහත කරුණු දෙකටම අප රට ගොදුරුවන්නේ ශ‍්‍රී ලංකාව වැදගත් නාවික ගමන් මාර්ගයක වැදගත් නාවික මංසන්ධියක පිහිටා තිබීමේ ‘‘කරුමය’’ හේතුවෙන් නොවේ. පැහැදිලිවම ජාවාරම්කරුවන්ට මේ රට ගොදුරුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. නැතහොත් ඕනෑම කුණු ගොඩක් කරගහන්නට තරම් අමන ප‍්‍රතිපත්ති අනුගමනය කරන රටක් බවට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
 
 ශ‍්‍රී ලංකාව හරහා අනෙකුත් කලාපීය රටවලට ‘කුඩු’ ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරෙන බවට හඳුනාගෙන ඇති අතර ඒවා යහමින් රට තුළද භාවිත වේ. සොයාගත් කුණු කසළ ගොඩවල් පිළිබඳව දැනටමත් සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුවද වගකිවයුතු සමාගම් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කසළ නැවත සකසා ප‍්‍රති අපනයනය සිදුකෙරෙන ඒවා බවය. එමගින් වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ලැබෙන බවය. එනමුත් ඇත්ත නම් මේවායින් බහුතරය අපේ කසළ ගොඩවල්වල මිහිදන් වීමයි. මෙම කසළ ප‍්‍රතිසැකසුම් කරන සමාගම් කියන්නේ තමන් මේවා ප‍්‍රතිසැකසුම් කළාට මෙම කසළ රටට ගෙන්වන්නේත්, යළිත් රටින් පිටමං කරන්නේත් තමන් නොවන බවයි.
 
 එහෙයින් අන්තරායකර රසායන යල්පැනගිය ඖෂධ, රෝහල් අපද්‍රව්‍ය ඇතුළු මෙරටට කසළ ගොඩවල් ඇදබාන චූදිතයන් කවුද යන්න ප‍්‍රහේලිකාවකි. වගකිවයුත්තන්ට හඳුනාගත නොහැකි උභතෝකෝටිකයකි. නොහොත් ‘‘ප‍්‍රසිද්ධ’’ රහසකි. කියන්නට බැරි කතාවකි. එහෙත් අපට ඒ පිළිබඳ ඉඟියක් ලබාදෙන්නට පුළුවන.
 
 අවම තරමින් මෙසේ එංගලන්තයෙන්ද, වෙනත් රටවලින්ද වශයෙන් මෙරටට මෙවන් කැළි කසළ එන රටවල් කවරේද? යන්නත්, ගෙන්වන සමාගම් හෝ පුද්ගලයන් කවුරුන්ද යන්නත්, මේ දක්වා කෙතරම් බහාලූම් ප‍්‍රමාණයක් රටතුළට පැමිණ ඇත්ද යන්නත් දන්නා කෙනකු නැත. රටේ ආගමන - විගමනය හා ආනයනය අපනයනයද පවතින්නේ එවන් තිරස්චීන තැනකය. හරිම පුදුමය. විශ්මය දනවන සුළුය.
 
 මේ වනවිට මුදා ගන්නට නොහැකිවූ කසළ බහාලූම් 102 ක් කොළඹ වරායේ ගොඩගසා ඇති බවට හඳුනාගෙන ඇති අතර, තවත් සියයකට වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ වැස්සට තෙමි තෙමී කටුනායක ආයෝජන කලාපය තුළ ගොඩගසාය. මීට පෙරද මෙවන් බහාලූම් 100 කට වැඩි ප‍්‍රමාණයක් වරායෙන් (රේගු භාරයෙන්) මුදාගෙන ගොස් ඇති නමුත් හා ආයෝජන කලාපයේ ගොඩගැසී ඇති නමුත් අයිතිකරුවකු නැතිවීම පුදුමයකි. එසේ හෙයින් මෙම බහාලූම් වරායේ සිට ආයෝජන කලාපයට ඇවිදගෙන යනු ඇති බවට අපට උපකල්පනය කළ හැකිය.
 
 මෙසේ එංගලන්තයේ සිට පැමිණි රෝහල් අපද්‍රව්‍ය ඇතුළත් කැළි කසළ බහාලූම් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2017 වසරේදීය. වසර 2 ක් ගතවීත් ඒ පිළිබඳව නිසි සොයාබැලීමක් සිදුනොවීම පැහැදිලිවම වරායේ, රේගු අංශවල හා මධ්‍යම පරිසර අධිකාරියේ වරදක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
 
 මෙවන් ආනයනයන් සඳහා 2013.07.30 දිනැති අංක 1818-30 දරණ පැවැති මහින්ද රාජපක්‍ෂ රජය යටතේ නිකුත් කරන ලද ආනයන නීති ලිහිල් කරන ලද ගැසට් නිවේදනය පැහැදිලිවම උදව්වක් වී ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා නගයි. එනමුත් අපට ඇති ප‍්‍රශ්නය වන්නේ ඒ ‘ලිහිල් ආනයන ප‍්‍රතිපත්ති’ කැළි කසළ ආනයනය හා ගැළපෙන්නේ කෙලෙසද යන්නයි. ගැටලූවක් ඇත්නම් එම ගැසට් නිවේදනය වහා අහෝසි කළ යුතු වුවත්, කැළි කසළ ආනයනයට වගකිවයුත්තේ එම ගැසට්ටුවම නොව, පැහැදිලිවම රාජ්‍ය ආයතන හා හොර ව්‍යාපාරික සන්ධානය. මෙයින් වැඩි බර මධ්‍යම පරිසර අධිකාරියට බැර වේ. මන්ද මෙවන් කටයුතු නියාමනය නොවීමත් අවශ්‍ය නීති සම්පාදනය හා කි‍්‍රයාවට නැංවීම සිදු නොකිරීමත්ය.
 
 ශ‍්‍රී ලංකාවට කැළි කසළ ගොඩබෑම තරමක් පැරණි කතාන්දරයකි. නාවික හා ගුවන් මාර්ග වලින් මෙරටට හොර රහසේ ගෙනඑන කසළ පහසුවෙන්ම රටේ කසළ ගොඩවල්වලට එකතු කිරීමේ ඇති පහසුව නිසාය. එමෙන්ම, ඒ සඳහා රටතුළ ඉතා හොඳ ‘‘පාතාලයක්’’ ද නිර්මාණය වී ඇත. අතීතයේ පටන් නැව් වලින් ඉවත්කරන කසළ මීගමුවේ, බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල කසළ ගොඩවල්වලට එකතු කරන බවට පරිසරවේදීන් අනාවරණය කරන්නේ කලක පටන්ය.
 
 වරෙක ඔරුගොඩවත්ත රේගු බහාලූම් අංගණයේදී මෙරටට ගෙනා අන්තරායකර රසායන කන්ටේනර් 15 කට වඩා රේගුව මගින් අනාවරණය කරගන්නා ලදී. ඒ තුළ අඩංගුව තිබුණේ ‘‘ඔක්සීන් බයි කාබනේට්’’ හා ‘‘සෝඩියම් බයි කාබනේට්’’ නමැති රසායන වර්ගය.
 
 එසේම අවස්ථා කිහිපයකදී රේගු නිලධාරීන්ගේ තියුණු පරීක්‍ෂාවට ලක්වූ බහාලූම් තුළ ‘න්‍යෂ්ටික’ අපද්‍රව්‍ය තිබූ බවටද අනාවරණය විය. එම නිලධාරීන්ගේ දක්‍ෂතා මත මෙසේ ගොඩ බෑ (හඳුනාගත්) බහාලූම් බොහෝමයක් ඒවා ගෙන්වන ලද රටවලටම නැවත හරවා යැවුණි.
 
 උපද්‍රවකාරී කසළ ආනයනයට අදාළව පවතින බාසල් සම්මුතියට ශ‍්‍රී ලංකා රජයද අත්සන් තබා ඇති නමුත් ඊට අදාළ රෙගුලාසි රට තුළ තවමත් බලාත්මක කර නැත. එසේ හෙයින් මෙහි වරදින් වැඩි කොටස පෙර කී පරිදි මධ්‍යම පරිසර අධිකාරිය දැරිය යුතුය. කසළ වැඩ කරන පුද්ගලයන් හා සමාගම් හඳුනාගෙන ඔවුන් නිරන්තරයෙන් පරීක්‍ෂා කිරීමද කළ යුතු අතර වහාම නීති බලාත්මක කර අහිතකර ගැසට්ටුද නිෂ්ප‍්‍රභ කළ යුතුය.
 
 එසේම, වරායේ බහාලූම් හැසිරවීමේ ලිහිල් ප‍්‍රතිපත්ති වෙනුවට දැඩි ප‍්‍රතිපත්ති පැනවීම නොකළ හොත් මීටත් වඩා කසළ අර්බුදයකට රට ගොදුරුවීම වැළැක්විය නොහැකිය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles