Divaina - ජනතා විශ්වාසය බිඳවැටීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

‘අනපේක්ෂිත’ ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ගොදුරුව රට විපතට පත්ව ඇති, ශෝචනීය අවස්ථාවකි මේ. අනපේක්ෂිත යැයි කීවද? ප‍්‍රහාර එල්ල වන ‘තැන’ අනපේක්ෂිත වුවද ප‍්‍රහාරය ‘අපේක්ෂිත’ එකක් විය. මේ බව කීවේ අප නොව රජයේ බුද්ධි අංශයයි. ඊට කි‍්‍රයාමාර්ග නොගත් උදවිය දැන් කියන්නේ මෙවන් බිහිසුණු ප‍්‍රහාර ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත්, ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයටත්, ලන්ඩනය, පැරිසියටත් මෙකී නොකී තැන්වලටත් එල්ල වුණා නම් අප කොහොම ඊට මුහුණ දෙන්නට ද කියාය. ඒවා ‘බයිලා’ කතාය. රටේ ඉහළම නායකයන් මෙවන් බයිලා, ශාස්තී‍්‍රය ගීත යැයි සිතා ගැයුවත් අහන එකා සිහි බුද්ධියෙන් අසන නිසා මේ කතා අපට නම් ‘බයිලා’ මය. නොහොත් ඉතා හොඳින් ත‍්‍රස්තවාදීන්ගේ මේ ප‍්‍රහාර සැලසුම වළකාලන්නට අපට හැකියාව තිබිණි. නමුත් එය වෙනම කතාවකි.
 
 එම බෝම්බ ප‍්‍රහාර මාලාව අතරතුර මෙතෙක් නොවූ විරූ විශිෂ්ට ‘දේශපාලන’ හා ‘ආගමික’ නායකත්වයක් ප‍්‍රදර්ශනය කළ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ් රටම සන්සුන් කර, ජාතීන් අතර ගැටුම් වළකාලන්නට කටයුතු කළහ.
 
 උන්වහන්සේගේ් එම මැදිහත් වීම නොවන්නට එදා රටම ලේ විලක් වීමට ඉඩ තිබිණි. එනමුත් ඒ බිහිසුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ ජනතාව සන්සුන් කළාට අමතරව, ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන ජාත්‍යන්තරයටත්, ත‍්‍රස්තවාදය පරදවා විජයග‍්‍රහණයක් ලබාගත් අප රටට බලපෑම් කරන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් වැදගත් පණිවිඩයක් උන්වහන්සේ නිකුත් කළ බව අපගේ හැඟීමයි.
 
 එතැනින් නොනැවතී උන්වහන්සේ රටේ නායකයන් ඇතුළු දේශපාලන අමන රැුළ තනතුරුවලින් පහ කළ යුතු බවට ද රිදෙන්නට ප‍්‍රකාශයක් කළේ ජාතික ආරක්ෂාව යැයි කියමින් ඔවුන් ‘අනන ඇනිල්ල’ දැකය. රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව ගැන නොතකා තවදුරටත් දේශපාලන බලූ පොරයේම යෙදීමත්, එකාවන්ව පොදු සතුරාට මුහුණ දෙනු වෙනුවට ජනතාව සහ ආගමික නායකයන් නොතකා කටයුතු කිරීමත් නිසාය.
 
 සැබෑය! එම බිහිසුණු ප‍්‍රහාරය සිදුවී සති තුනක් ගතවීත් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් ‘ජනතාවගේ චූදිතයන්’ තවමත් නිදැල්ලේය. අවම තරමින් විශ්වාසභංගයෙන් පවා එවන් චූදිතයන්ට දඬුවම් හිමිවනු ඇතැයි සිතිය නොහැකි තරමටම දේශපාලනය ¥ෂිත වී ඇත.
 
 කන්නට උවමනා වූ විට කබරයාත් තලගොයා කර ගන්නා න්‍යායෙන් කටයුතු කරන කපටි දේශපාලන රැුළ ඕනෑම ‘නයෙක්’ ඔඩොක්කුවේ දාගන්නා පිරිසක් බව දැන් රටම දන්නා කාරණයකි.
 
 ඒ නිසාම මංගල සමරවීර වැනි ඇමැතිවරුන් ‘‘මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ’’ යැයි කීම අරුමයක් ද නොවේ.
 
 මේ අවස්ථාවේදී සිදුකරන මෙවන් ප‍්‍රකාශ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස හඳුන්වාදිය හැක්කේත්, අඬන්නට ඉන්න එකාට ඇහැට ඇඟිල්ලෙන් අනින්නාක් මෙන් සිදු වී ඇති බව පෙනෙන්නේත් වර්තමානයේ රටේ ඇති වී තිබෙන කනගාටුදායක තත්ත්වය දෙස බැලීමේදීය.
 
 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වූ පමණින් සාමාන්‍ය මුස්ලිම් වැසියාට පහර දීමට හෝ ඔවුන්ගේ දේපළ විනාශයට එය කිසි ලෙසකින්වත් හේතුවක් නොවේ. එහෙත් එය සිදුව තිබේ. අද රටට උද්ගතව ඇති මේ ඛේදජනක ඉරණම කිසි ලෙසකින් හෝ අනුමත කළ හැක්කක් නොවේ. පටු දේශපාලන අරමුණු පෙරදැරිව හෝ ජාතිවාදී අපේක්ෂාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් සිදු කරන ම්ලේච්ඡු පහරදීම් වහා පරාජය කළ යුතු බව අපගේ ද බලාපොරොත්තුවයි.
 
 මන්ද තවදුරටත් ඇඳිරි නීති මැද ජීවත්වීමට රටේ ජනතාවට වුවමනා නැති නිසා මෙන්ම ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට විසඳුම එක් ජන කොටසකට තලා පෙළා හිරිහැර කිරීම ද නොවන නිසාය.
 
 කෙසේ හෝ රටේ ඇවිළෙන මේ ගින්න පිටුපස පක්ෂ, පාට ප‍්‍රාදේශීය දේශපාලනඥයින් හා උන්ගේ උදව්වෙන් ජාතිවාදය වපුරන පිරිස් ඇති බව දැන් රහසක් නොවේ. කාදිනල්තුමන් ද ඒ් බව සපථ කළහ. මේ ප‍්‍රශ්නයට මුල ත‍්‍රස්තවාදයට එරෙහිව රජය කටයුතු නොකළා සේම, යළිත් රටේ ආරක්ෂාව තහවුරු කරන්නට ද සාධනීය මැදිහත්වීමක් රජය මගින් සිදු නොකිරීම නිසා ඇතිව තිබෙන අවිශ්වාසය බව අපගේ විශ්වාසයයි.
 
 එසේ නොවේ නම් ප‍්‍රහාරයෙන් නිවුණු රට යළිත් සති තුනකට පසු ඇවිළ යෑමට කිසිදු හේතුවක් නැත. මේ නිසාම රට අත්කර ගත් කීර්තිය යළිත් වළපල්ලට වැටී තිබේ. කීර්තිය කෙසේ වෙත ද අන්‍යොන්‍ය සහජීවනය බිඳ වැටීම බරපතළ ඛේදවාචකයක ආරම්භය වන නිසාය.
 
 එබැවින් රජය වහා මැදිහත්ව ජාතිවාදී ගිනිදැල් නිවන අතරම රට තුළ ඉස්ලාම් ත‍්‍රස්තවාදය හා ව්‍යාප්තවාදය ඇතිවීම වැළැක්වීමට සාධනීය කි‍්‍රයාමාර්ග ගත යුතුව ඇත. වඩාත් අවශ්‍යව ඇත්තේ රජය කෙරෙහි ජනතා විශ්වාසය ඇති වන ආකාරයෙන් කටයුතු කිරීමය.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles