Divaina - අන්තවාදය පරාජය කළ යුතුමය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

katuaත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දින 22කට පසුව ජාතික තව්හිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා 13 දා මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කර තිබේ. නැෂනල් තව්හිද් ජමාත්, ජමාතේ මිල්ලාතේ ඊබ‍්‍රහිම්, විලයාත් අස් සෙයිලානි යන සංවිධාන මෙසේ තහනම් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව ය. දින විසි දෙකකට පසුව හෝ මෙම ගැසට් නිවේදනය නිකුත් කරන්නට රජයට සිදුවූයේ ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය විසින් නගන ලද හඬ නිසාය. එසේ නොවන්නට කිසිදා මෙම ගැසට් පත‍්‍රය නිකුත් නොවන්නට ඉඩ තිබිණි.

 
 මේ අතර රටේ කලබලකාරී තත්ත්වය හා කලකෝලාහල මැඩපැවැත්වීම සඳහා යුද හමුදාවට සහ පොලීසියට බලය පවරා තිබේ. රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා තිබේ.
 
 මේ අතර නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා පවසා තිබේ. පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වලකමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම්වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර ඇත.
 
 බෝම්බ ප‍්‍රහාරයෙන් දින විසි ගණනකට පසු මහජන නොසන්සුන්තාවයක් ඇතිවන්නට හේතුව වගකිවයුත්තන් තේරුම්ගත යුතුය.
 
 මේ සිද්ධීන් පිටුපස කි‍්‍රයාත්මක වන ජාතිවාදී බලවේග වහා මර්දනය කළ යුතුය. ජාතිවාදයෙන්, වර්ගවාදයෙන්, ප‍්‍රචණ්ඩත්වයෙන් අවසානයේ විනාශයට පත්වන්නේ අපේ රටය. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලින් පසු තවමත් දෙපයින් නැඟී සිටීමට ශී‍්‍ර ලංකාවට නොහැකි වී තිබේ. මෙවැනි මොහොතක පුපුරා යන රතිඤ්ඤා කරලකින් වුවද රටට සිදුවන හානිය අති විශාලය. එබැවින් අන්තවාදී කි‍්‍රයා මර්දනය කිරීමට ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ යුතුය. සහරාන්ලාගේ මඟ යන මේ අන්තවාදීන් මර්දනය නොකළහොත් ශී‍්‍ර ලංකාව තවත් සුඩානයක් වීම වැළැක්විය නොහැක.
 
 බොහෝ ස්ථානවලින් නැෙඟන චෝදනාව වන්නේ නිසිපරිදි ආරක්ෂාව තහවුරු කිරීම හා සෝදිසි මෙහෙයුම් සිදුකිරීම නොකෙරෙන බවයි. ඇතැම් පොලිස් ස්ථානවලට සැකකටයුතු ස්ථාන හා පුද්ගලයන් පිළිබඳව දුරකථන ඇමතුම් දුන්න ද නිසි පරිදි පරීක්ෂාවන් සිදු නොකරන බවට චෝදනා බොහෝය. බොහෝ ප‍්‍රදේශවල වසා දමා ඇති ඇතැම් නිවාස කිසිදු පරීක්ෂාවකට ලක් කර නැත. ජනතාව විසින් අල්ලා පොලීසියට භාරදෙන සැකකටයුතු පිරිස් ඇතැම් පොලිස් ස්ථානවලින් වහාම නිදහස් කරන බවටද, ත‍්‍රිවිධ හමුදාවන් විසින් එසේ අල්ලා ගෙන පොලීසියට භාරදෙන ඇතැමුන් පොලීසිය වහාම නිදහස් කරන බවටද චෝදනා තිබේ. මෙය බරපතළ තත්ත්වයක් වන්නේ එසේ වූ විට මීළඟ අවස්ථාවේ ජනතාව තමන් විසින් නීතිය ක‍්‍රියාත්මක කරන තැනට පෙළෙඹෙන නිසාය. මේ වන විට තත්ත්වය දරුණු වෙමින් පවතින්නේ ඒ නිසාය.
 
 අනෙක් අතට මේ සුළු අතපසුවීමක් යනු සිය ගණනකගේ ජීවිත අහිමිවීමක් විය හැකි බව පොලීසිය තේරුම් ගත යුතුව තිබේ. අපේ රට මේ වන විට සටන් කරමින් සිටින්නේ ලොව භයානකම අන්තවාදී පිරිසක් සමග බව කිසිවිට අමතක කළ යුතු නැත. එම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අඩුවක් නොකරන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු. ඒ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශ්වවලින් සිදුකෙරෙන බලපෑම්වලට ආණ්ඩුව කිසිලෙස හිස නොනැමිය යුතුය. එසේම වගකීමෙන් කටයුතු කරන ලෙස රටේ සියලූ ආරක්ෂක අංශවලට ද සමස්ත ජනතාවට ද ආයාචනා කරන්නෙමු.
 
 විශේෂයෙන්ම මේ අවස්ථාවේ සිංහල ජනතාව කුපිත කරවන කිසිදු කටයුත්තක නිරත නොවීමටද ප‍්‍රකාශ නිකුත් නොකිරීමටද මුස්ලිම් ජනතාව හා මුස්ලිම් දේශපාලනඥයන් ප‍්‍රවේශම් විය යුතුය. එසේම මුස්ලිම් ජනතාව සැනසීම සඳහා බොළඳ ප‍්‍රකාශ අනෙකුත් දේශපාලනඥයන් විසින්ද සිදු නොකළ යුතුය. එවැනි දේ සිදු කළහොත් මේ රට යළිත් 1983 කළු ජූලියකට ගමන් කිරීම වැළැක්විය නොහැක. ඒ බව රටේ සියලූ වගකිවයුතු පාර්ශ්ව තරයේ සිතට ගත යුතුව තිබේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles