Divaina - විදුලි ගේම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

 

viduli1135විදුලි බලාගාරවල ජල මට්‌ටම දිනෙන් දිනම අඩුවන බැවින් අරපරිස්‌සමෙන් විදුලිය පාවිච්චි කරන ලෙස විදුලිබල, බලශක්‌ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි. මෙය ලංකා විදුලිබල මණ්‌ඩලය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන නිල ප්‍රකාශනයකි. එය මෙවර නිකුත් කිරීමේ වාසනාව හිමිවී ඇත්තේ ඇමැති රවී කරුණානායක මහතාටය. විදුලිය අරපරිස්‌සමෙන් පාවිච්චි කරන ලෙස ජනතාවට උපදෙස්‌ දීම විදුලිබල මණ්‌ඩලයේ වගකීමය. මන්ද බලශක්‌තිය රැකගැනීම ගෝලීය අවශ්‍යතාවක්‌ බැවිනි. නමුත් ලංකාවේ විදුලි බල මණ්‌ඩලය මෙවැනි ප්‍රකාශ කරනුයේ ජාම බේරා ගැනීමටය. මන්ද මණ්‌ඩලය රටේ විදුලිබල අවශ්‍යතාවට සරිලන පරිදි වසර අටකින් නව බලාගාර ඉදිකර නැත. බලාගාර ඉදි නොකර පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා පසුගිය වසරේ පමණක්‌ මණ්‌ඩලය ලැබූ පාඩුව රුපියල් කෝටි 4500 කි. ලබන වසරේ මෙය කෝටි 6000 දක්‌වා ඉහළ යන බවට දැනටමත් පුරෝකථන පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික බලශක්‌ති අවශ්‍යතාව කාර්යබහුල අවස්‌ථාවන්හිදී මෙගාවොට්‌ 2300 පමණ වේ. මෙය 2021 වසර වනවිට දී මෙගාවොට්‌ 3100 ක්‌ පමණ වනු ඇති බවට විදුලිබල අමාත්‍යංශය විසින් පුරෝකථනය කර තිබේ. ගොඩනැඟෙමින් තිබෙන විශාල තට්‌ටු නිවාස සහ සාප්පු සංකීර්ණ, වරාය නගරය සහ කාර්මික ජනපදවල විදුලි අවශ්‍යතාව ඉහළයැම නිසා මෙගාවොට්‌ 800 ක පමණ අතිරේක විදුලි බලයක්‌ නිපදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. 2015 වසරේ සිට 2019 වසර දක්‌වා කාලය තුළ නව විදුලි බලාගාර දෙකක්‌ අලුතින් ඉදිකිරීමට යෝජිතව තිබූ අතර අලුතින් ඉදිකිරීමට සැලසුම් කළ බලාගාර ද්විත්වයෙන් ත්‍රිකුණාමලය සාම්පූර් විදුලි බලාගාරය අදියර දෙකකින් යුක්‌ත වූ අතර එම අදියර දෙකෙන් මෙගාවොට්‌ 500 ක විදුලිබලයක්‌ ජාතික පද්ධතියට ලබාදීමට සැලසුම් කෙරිණි. නමුත් ගොඩනැඟුණු ප්‍රබල මහජන විරෝධය හමුවේ එම බලාගාරය ඉදිකිරීම අත්හිටුවන ලදී.

ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය, මෙගවොට්‌ 300 ක ධාරිතාවකින් යුතු නව ස්‌වාභාවික වායු විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසුව එහි ඇගයීම් කටයුතුවලදී ඉතා සූක්‌ෂමව සැලසුම් කළ බරපතල ගණයේ වංචාවක්‌ සිදු වෙමින් තිබෙන බව පසුගිය සමයේදී මෙරට ජනමාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්‌විය. විදුලිබල මණ්‌ඩලයේ සහ ක්‌ෂේත්‍රයේ දැනුම සහිත ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත තාක්‌ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ සමාගම් හයෙන් පහක්‌ නොසලකා හැර චීන සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා මෙම නිලධාරීන් විසින් කටයුතු කර ඇත. මෙම විදුලි ටෙන්ඩර් ගනුදෙනුව ඉතා දූෂිත එකක්‌ බවට දැනටමත් විදුලිබල මණ්‌ඩලයට චෝදනා එල්ල වී තිබේ. විදුලිබල මණ්‌ඩලයේ සිදු වන කිසිදු ගණුදෙනුවක්‌ සුපිරිසිදු ලෙස අවසන් වී නොමැත. ඊට හොඳම නිදසුන මණ්‌ඩලය හා පෞද්ගලික ඩීසල් බලාගාර අතර සිදුවන ගනුදෙනුය. කිසිදු ටෙන්ඩර් කැඳවීමක්‌ නොකර සිදුවන මෙම විදුලිය මිලදී ගැනීම් අතිශයින් දූෂිතය. පසුගිය වසරේ මණ්‌ඩලය ඇඹිලිපිටිය ඒස්‌ ඩීසල් බලාගාරය සමඟ 2021 දක්‌වා විදුලිය මිලදී ගැනීම සඳහා අත්සන් කරන ලද ගිවිසුමෙන් මණ්‌ඩලයට සිදුවන පාඩුව රුපියල් කෝටි පන්දහසක්‌ පමණ වන බව බලශක්‌තිය පිළිබඳ ප්‍රවීණයෝ පවසති. ගිවිසුම අනුව මණ්‌ඩලය බලාගාරයෙන් විදුලිය ලබා නොගත්තද මුදල් ගෙවිය යුතුය. මේ සියලු දූෂිත ගනුදෙනුවල පාඩුව අවසානයේ ගලා යන්නේ ජනතාවගේ කරපිටිනි.

විදුලිබල මණ්‌ඩලය තමන්ට ඉල්ලුමට අනුව සැපයුම ලබාදිය හැකි බව පවසන්නේ පුද්ගලික අංශයෙන් ඕනෑම අවස්‌ථාවක විදුලිය මිලදී ගැනීමට ඇති හැකියාව නිසාය. එහෙත් හදිසි තත්ත්වයක්‌ යටතේ පුද්ගලික අංශයේ බලාගාරවලින් මෙගාවොට්‌ සියය ඉක්‌ම වූ ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමේ හැකියාවක්‌ නොමැත. විශාල විදුලි ධාරිතාවක්‌ ජාතික පද්ධතියට එකතු කර ගැනීමට හැකිවන පරිදි විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකර නොමැති නිසාය. එම සම්ප්‍රේෂණ මාර්ග නැවත පුද්ගලික බලාගාර හා සම්බන්ධ කිරීමට අඩුම තරමින් වසර දෙකක්‌වත් ගතවනු ඇත. එසේම ඩීසල් විදුලි බලාගාරයක්‌ ඉදිකිරීමටද අවම වසර දෙකක්‌ ගතවනු ඇත. ගල්අඟුරු බලාගාරයක්‌ සඳහා වැයවන කාලය වසර දහයක්‌ පමණ වේ. එම නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක්‌ සිදුවීම අනිවාර්යය. මැතිවරණ ඉලක්‌ක කරගනිමින් විදුලිය කප්පාදු නොකර, දිගින් දිගටම ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් සිදු වන්නේ මණ්‌ඩලය පාඩු පිට පාඩු ලැබීමය.

ඉදිරියේ එන බලශක්‌ති අර්බුදයට හොඳම විසඳුම වන්නේ අප කඩිනමින් සූර්ය බලශක්‌තිය වෙත මාරු වීමය. පසුගියදා ඇඹිලිපිටියේ ඉදිකළ ලංකාවේ විශාලතම සූර්ය බලාගාරය ඊට හොඳ ප්‍රවේශයකි. දැනටමත් රටේ නිවාස හාරදහසක්‌ පමණ බලශක්‌තිය උපයා ගන්නේ සූර්ය බලයෙනි. මෙහිදී සිදුවන්නේ මෙම නිවාසවලින් දහවල් කාලයේදී උපදවන සූර්ය බලය මණ්‌ඩලය විසින් මිලදී ගෙන රාත්‍රී කාලයට ජාතික සැපයුමෙන් නොහොත් ගල් අඟුරු දහනය කර නිවාසවලට විදුලිය ලබාදීමය. මෙය ඉතා විහිළු ගෙනදෙන, අසාර්ථක ක්‍රියාවලියකි. මෙය සාර්ථක ක්‍රියාවලියක්‌ බවට පත් කිරීමට නම් සූර්ය බලය ගබඩා කළ හැකි බැටරි ලංකාවට හඳුන්වා දිය යුතුය. නැතිනම් රටේ නිපදවිය යුතුය. නමුත් මෙවැනි සැලසුමක්‌ ගැන කිසිදු කතාවක්‌වත් නැත. විදුලිබල මණ්‌ඩලය රට පුරා සූර්ය සංග්‍රාම දියත් කළාට මල් නොපිපෙන්නේ මේ නිසාය.

මෙරට විදුලි අවශ්‍යතාව වාර්ෂිකව දළ වශයෙන් මෙගාවොට්‌ එකසිය පනහත්, දෙසීය පනහත් අතර ප්‍රමාණයකින් ඉහළ යයි. මෙම ඉහළ යන ඉල්ලුමට සැපයුම ලබාදීම සඳහා විදුලි බලාගාරයක්‌ අවසන් වරට ඉදිවුණේ 2012 වසරේදීය. ඒ නොරොච්චෝලේ බලාගාරය ය. එතැන් සිට වසරක්‌ පාසා වැඩිවෙමින් ඇති ඉල්ලුමට සැපයුම ලබා දෙන්නේ පුද්ගලික අංශයෙන් ඉන්ධන මගින් ජනනය කරනු ලබන විදුලිය රජය මගින් මිලදී ගෙනය. විදුලිබල මණ්‌ඩලයේ බලාගාරවලින් විදුලි ඒකකයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 21 ක්‌ වැයවන අතර එය ජනතාවට ලබා දෙන්නේ රුපියල් 16 - 17 අතර මුදලකටය. නමුත් පුද්ගලික අංශයෙන් ඒකකයක්‌ මිලදී ගන්නට සිදු වන්නේ රුපියල් 30 කටය. පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගෙන අඩු මිලට ජනතාවට දීම තනිකරම පොලිටිකල් ගේම් එකකි. අවසානයේ පාඩුව විඳින්නේත් ඇමැතිවරයා හෝ ආණ්‌ඩුව නොව ජනතාවය. ෙ€දවාචකය, මේ විදුලි ගේම්වලින් රට දිනෙන් දින අඳුරට යැමය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles