Divaina - මජර පොලිස් කුක්කන්ගෙන් පොලිසිය බේරා ගනිමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 මහජන මිත‍්‍රශීලී, වෘත්තීය අභිමානවත් සේවයක් සඳහා පොලිසිය කැපවෙන බව පොලිස් වෙබ් අඩවියේ සඳහන් වෙයි. මෙම වෙබ් අඩවියේ වැඩිදුරටත් සැරිසැරීමේදී පෙනී යන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන තැනැත්තකුගේ මූලික අයිතිවාසිකම් ද රැුකීමට පොලිසිය බැඳී සිටින බවයි.
 
 ඒ අනුව සැකකරුවකු කිසිවිටෙක වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකළ යුතුය. සැකකරුවකුට නීතියේ  රැකවරණය සර්ව සාධාරණව හිමිවිය යුතුය. ශාරීරික හෝ මානසික වධ හිංසාවනට ලක් නොකළ යුතුය. නීතියේ සඳහන් අයුරින් මිස කිසිම තැනැත්තකු අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා නොගත යුතුය. අත්අඩංගුවට පත් පුද්ගලයකු පැය 24 ක් හෝ සාධාරණ කාලයක් ඇතුළත මහෙස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය. අත්අඩංගුවට ගැනීමට හේතුව, සැකකරු සැක හැර දැනගත යුතුය. අත්අඩංගුවට ගත් පුද්ගලයකු අවමානයට භාජනය නොකළ යුතුය. කාන්තාවක් නම් රඳවා තබා ගැනීමේදී කාන්තාවක් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කළ හැකිය. කාන්තාවක් නම් සෝදිසි කිරීමේදී විනීතභාවය ඇතිව පොලිස් කාන්තා නිලධාරිනියක් විසින් එය කළ යුතුය. සැකකරුට නීතිඥ සහාය ලබා ගැනීමට හැකියාව ඇති බැවින් ඊට අවස්ථාව ලබාදිය යුතුය. තමන් අත්අඩංගුවට ගත් බව ඥාතීන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් ද කළ හැකිය. අපරාධ විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි සැකකරුගේ කිට්ටු ඥාතීන්, ලේ ඥාතීන් මුණගැසීමට අවස්ථාව ලබාදිය යුතුය. සැකකරුට ළඟම ඥාතීන් සමඟ පණිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථා ඇති බැවින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි ඒ පිළිබඳව පහසුකම් ඉල්ලා සිටීමට අයිතිය ඇත. එසේම සැකකරුවකු වධහිංසාවකට ලක් වූ අවස්ථාවකදී මහෙස්ත‍්‍රාත්වරයකුට හෝ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමට ද වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කරවන ලෙසට ඉල්ලීම් ද කළ හැකිය.
 
 අද වනවිට අපේ රටේ ජනතාවට පොලිසිය පිළිබඳ ඇත්තේ එතරම් පැහැදිලි චිත‍්‍රයක් නොවේ. අද බොහෝ මිනිස්සු පොලිසියට යනුයේ බිය සැක ඇතිවය. තමන්ට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් යම් සාධාරණ විසඳුමක් පතා පොලිසියට යන ජනතාව එවැනි මානසික තත්ත්වයක් පොලිසියට යන්නට සිදු වී ඇති පසුබිම වහාම වෙනස් විය යුතුය.
 
 සැබැවින්ම පොලිසිය ජනතාව කෙරෙහි මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. භාෂාව හැසිරවීම මෙන්ම පොලිස් නිල දරුවන්ගේ අන් හැසිරීම ද පූර්ණ වෙනසකට භාජනය කළ යුතු කාලය එළඹ ඇත. පොලිසිය පාතාල ඇතුළු අනෙකුත් ජාවාරම්කරුවන්ට සලකන අයුරින් සාමාන්‍ය ජනතාව දෙස නොබැලිය යුතුය.
 
 සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු තරුණයකු අත්අඩංගුවට ගැනීමට සැරසෙන අයුරුත් ඔහුට අමානුෂික අයුරින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ වෙබ් අඩවිවල දැකිය හැකිය. එපමණක් නොව එම සිද්ධිය ගැන යම් පැහැදිලි කිරීමක් හෝ ඒ ගැන අදහසක් දක්වන තරුණයකුට එම පොලිස් නිලධාරීන් පහර දෙන බව ද එම වීඩියෝවේ දැකගත හැකිය. රිදීගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මෙම පහරදීමට සම්බන්ධ බවට සැක කෙරේ. මෙම පොලිස් නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය දෙස හොඳින් බැලීමේදී පෙනී යන්නේ සැකකරු තමන්ට පහර නොදෙන ලෙසට කරන ආයාචනය පවා තුට්ටුවකට නොසලකන බවයි. පොලිසියේ රාජකාරිය වනුයේ නීතිය ක‍්‍රියාත්මක කිරීමය. නීතිය අතට ගැනීමට අයිතියක් නැති බව මෙම පොලිස් නිලධාරීන් කල්පනා කරන බවක් නොපෙනේ. පොලිසියේ නම කැත කරන මෙම පොලිස් නිලධාරීන් වහාම සොයා අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
 
 කෙසේ වෙතත් අදාළ සැකකරු නීතිවිරෝධී මත්පැන් ප‍්‍රවාහනය කිරීමට සම්බන්ධ බවට පොලිසිය පැත්තෙන් ද චෝදනාවක් ඉදිරිපත් කර ඇත. ඇත්තටම ඔහු කසිප්පු ප‍්‍රවාහනය කළේ නම් කළ යුත්තේ නීතිය හමුවට ඔහු පමුණුවා ඔහුට දඬුවම් කිරීම ය.
 
 රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමූ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු නිසා පසුගිය දිනවල පොලිසියේ නම හොඳටම කැත විය. මීට පෙර අඟුලානේ තරුණයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කෙරුණේ පොලිසියේ ඕඅයිසීගේ අනියම් පටලැවිල්ලක් හේතුවෙනි. මෙවැනි මජර පොලිස් කුක්කන් නිසා පොලිස් සේවයටම සිදුවනුයේ නින්දාවකි. එය වහා වැළැක්වීම ඉහළ බලධාරීන්ගේ යුතුකමකි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles