සිලා සම්බුද්ධ නම් වූ අ
නුරාධපුර සමාධි පිළිමය


නෝමන් සිරිපාල

මහාවංශය - ජෙට්‌ඨතිස්‌ස (දෙටුතිස්‌) රජතුමා (ක්‍රි.පූ. 323 - 333) විසින් කරනු ලැබූ කාර්යයන් විස්‌තර කරන තැන්හී දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 247 - 207) රජතුමා විසින් ථූපාරාමයෙහි පිහිටුවනු ලැබූ මනහර, මාහැඟි සල පිළිමයක්‌ ගැන සඳහන් කරයි.

"දේවානම්පියතිස්‌ස - සොපතිට්‌ඨාපිතං පුරා, ථූපාරාමෙ උරුසිලා පට්‌ටං වාරු දස්‌සනං" යනු සිංහල පරිවර්තනයේ මෙසේ දැක්‌වේ. "ඒ දෙටුතිස්‌ රජ දෙවන පෑතිස්‌ රජ විසින්, පෙර ථූපාරාමයෙහි පිහිටුවන ලද මනා දෑබැමි ඇස මහගල් පිළිමය ථූපාරාමයෙන් ගෙන ගොස්‌, පැදුම් තිස්‌ පව් අරම් හී (ප්‍රාචීන තිස්‌ස පබ්බත විහාරය) පිහිටු විය" (මහාවංශය - 36 පරි. 127 - 129)

මහාවංශයේ දැක්‌වෙන මේ පුවතින් හෙළිවන්නේ ලෝක ඉතිහාසයෙහි ප්‍රථම බුදුපිළිමය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ බවයි.

දෙවනුව මහාවංශයේ මෙසේද දැක්‌වෙයි. "මහසෙන් රජතුමා (ක්‍රි පූ. 334 - 362) මෙම පිළිමවහන්සේ එතැනින් වැඩමවා ගෙන ගොස්‌ අභයගිරියෙහි පථිමාඝරයක්‌ (පිළිමගෙයක්‌) කරවා එහි වැඩ හිඳ වූ බවයි." ඒ මිහිපල් තෙම නැදුම් තිස්‌ පව්වෙන් මහගල් පිළිරුව ගෙන්වා අභයගිරියෙහි පිහිටු වී ......... පිළිම ගෙයද කරවීය." (මහාවංශය - 37 පරි( 14 - 15)

ඉන් පසු සිව්වන සියවසේදී බුදAධදාස රජතුමා (ක්‍රි.ව. 362 - 409) මෙම පිළිමයට මාණික්‍යමය නේත්‍රා පිහිටු වීය. මෙම මාණික්‍යය ලැබුණේ නාගයකු සුවපත් කිරීමෙන් පසුව එම නාගයාගෙනි. ඒ නාග තෙමේ සුවපත් තමා දැක මාහැඟි සිය මැණික්‌ රුවන රජ හට පූජා පිණිස දින. රජතෙමේ ඒ මිණි රුවන අබාගිරි වෙහෙර සලපිළිමයෙහි නේත්‍රා කළේය. (මහාවංශය - 37 පරි( 122 - 124)

ඉන්පසුව ධාතුසේන රජතුමා (ක්‍රි. 460 - 478) එම පිළිමවහන්සේට මණ්‌ඩපයක්‌ සහිත පථිමාඝරයක්‌ කරවා බුද්ධදාස රජතුමා විසින් පිහිටුවනු ලැබූ නිල්මිණි නෙත් යුවළ නැති වී තිබුණු බැවින් නෙත් යුවළ පිහිටුවීමට මැණික්‌ සැපයූ අතර පිළිමය සඳහා රැස්‌ වළල්ලක්‌ හා සිළුමිණක්‌ ද කරවා කෙස්‌හී නිල්මිණිද ඔබ්බවා තව තවත් නන් විසිතුරු කළේය.

"සල පිළිමයට මණ්‌aඩපය සහිත මන්දිරයක්‌ කරවී. බුජස්‌ රජහු විසින් කරන ලද නේත්‍රය හි කල්හී මාහැඟි මිණි සඟලකින් නෙත් තැබ්බ වී, එසේම බුදුරැස්‌ වළල්ල හා සිළුමිණ ද, කෙස්‌ පඩුද, ඝන නිල් මිණින් කරවී. ඉතා උතුම් රන් පටද එසේම ඌර්ණ රෝමයද රුවන් සිවුරද, පා දැලද, රන් පියුමද, මාහැඟි රන් පහනක්‌ ද, නා නාරාග වස්‌ත්‍රද ගණන පටානික්‍රාප්ත කොට එය පිදී. (මහාවංශය - 38 පරි. 62 - 65)

හත්වන සියවසේදී සිලාමේඝවර්ණ (ක්‍රි.ව. 617 - 626) රජතුමා පිළිමගෙයි නව කම් කරවා, පිළිමය නා නා මාණික්‍යයන්ගෙන්ද අලංකාර කරවා, එහි නඩත්තුව පිණිස කෝලවාපී වැව පූජා කළේය.

9 වන සියවසේදී පාණ්‌ඩ්‍යයන් අනුරාධපුරය අල්ලාගත් පසුව ඔවුහු මෙම පිළිමයේ දෙවන වරටත් තබනු ලැබූ නේත්‍රවල වූ මාණික්‍ය පැහැර ගත්හ. (ගල් පිළිමයෙහි නෙත් වූ මැණික්‌ දෙකද - මහාවංශය - 50 පරි( 35)

9 වන සියවස අගභාගයේදී ii සේන රජතුමා (ක්‍රි.ව. 851 - 885) පාණ්‌ඩ්‍යයන් විසින් විනාශ කරන ලැබූ එම පිළිමගෙය ප්‍රතිසංස්‌කරණය කොට ප්‍රතිමාවහන්සේට නිල් සිළුමිණක්‌ කරවීය. ඒ රජුගේ අගමෙහෙසිය, පිළිමයට රජ කිරුළක්‌ පැළඳ වූවාය. ගල් පිළිම වහන්සේ දිරාගිය ගෙයද කරවී (මහාවංශය - 51 පරි( 78) ඒ රජුගේ සංඝා නම් මෙහෙසියද --- ශෛලමය ප්‍රතිමා වහන්සේට නිල් සිළුමිණක්‌ ද කරවී. (මහාවංශය - 51 පරි( 86 - 87)

දස වැනි සියවසේදී ii වන උදය රජුගේ අන්තඃපුර ස්‌ත්‍රීන් විසින් පාද ජාලයකින් එම ප්‍රතිමාවට බුහුමන් දැක්‌වූහ." ඒ රජු අන්තඃපුරික මිදුරා නම් අංගනා තොමෝ ප්‍රජවලිත මිණියෙන් උපලක්‍ෂිත පාදැලකින් සෙල්මුවා එම පිළිමය පිදුවා. (මහාවංශය 52 පරි( 53)

මෙයින් පැහැදිලිවන්නේ මේ සෙල් පිළිමය ඉතා සුවිශේෂ පිළිමයක්‌ වූ බවයි.

මෙම පිළිමය හඳුන්වනු ලැබූ හැම විටෙකම එය හඳුන්වා ඇත්තේ සල - සෙල් - සිලා යන විශේෂ නාමයෙනි. උරුසිල් පට්‌ටා (ම.ව. 36 පරි( 128), මහසිලා පට්‌ටා (ම.ව. 37 පරි( 123), සිල් සත්ථු (ම.ව. 38 පරි( 61), සිලා සම්බුද්ධ (ම.ව. 39 පරි( 07), සිලාමය බුද්ධ (ම.ව. 44 පරි( 68), සිලාමය මුනින්ද (ම.ව. 51 පරි( 77), සිලාමය මහේසි (ම.ව. 51 පරි( 87), මඟුල් මහ සල පිළිමය (ii - මිහිදු රජුගේ (ක්‍රි.ව. 956 - 972) මිහින්තලේ පුවරු ලිපිය) මහසල පිළිමය (ඒ රජුගේම ඡේතවන පුවරු ලිපිය) යනුවෙනි.

ථූපාරාමයෙන් තැනින් තැනට ගෙන ගිය මේ සුවිශේෂී පිළිමය පිළිබඳව බොහෝ වියතුන් සිය අදහස්‌ පළ කොට තිබේ.

මහාචාර්ය වල්පොල රාහුල හිමියන් දැරුවේ මෙබඳු අදහසකි.

"මෙතෙක්‌ රැස්‌කරගෙන ඇති සාක්‍ෂිවලින් පෙනෙන හැටියට නම් බුදුපිළිම වැඳීම ඇරැඹුණේ ක්‍රි.පූ. පළමුවන ශත වර්ෂයේදී නැතහොත් ඊට පසු කාලයේදීයි.

එහෙත් මෙහි ලා ක්‍රි.ව. පස්‌වන ශතවර්ෂයේදී පමණ වස්‌, ප්‍රචලිතව පැවැති සිංහල ප්‍රවාදයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. මේ ප්‍රවාදයෙන් කියෑවෙන හැටියට නම් බුදු පිළිමගෙයි පුවත ඇරැඹෙන්නේ ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂය තරම් ඈත කාලයකදීය. මහාවංශය (ක්‍රි.ව. 323 - 333) දෙටුතිස්‌ රජු කළ කී දේ විස්‌තර කරන තැනේදී, ආදි කල දේවානම්පියතිස්‌ස රජු විසින් ථූපාරාමයෙහි වැඩ හිඳුවන ලද මා හැඟි මනහර මහ සල පිළිමයක්‌ ගැන සඳහන් කරයි. මේ කියමන අප භාර ගතහොත්, ලෝකයෙහි ආදිම බුදුපිළිමය තිබුණේ ලංකාවේය. මේ පිළිමය සැබැවින්ම දේවානම්පියතිස්‌ස රජු විසින් කරවන ලද්දක්‌ද නැතහොත් ථූපාරාමයෙහි තිබී හමුවුණු කවදා කෙසේ අසුවුණාදැයි කියුම නොදත් පැරණි බුදු පිළිමයක්‌ ලංකාවේ ප්‍රථම බෞද්ධ රජු කරවූ දෙයක්‌ හැටියට පසු කලෙක ඇතිවුණු ප්‍රවාදයකින් දක්‌වන ලද්දේද යන වග නිශ්චිත කොට කියන්ට අපට නොහැකිය. දඹදිව සාංචියෙහි හා භාරුත් ආදි කාලීන කැටයම්වල බුදුපිළිම දක්‌නට නොලැබෙන නිසා ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ වෙන තැන්වලින් බුදුපිළිම සාදනු නොලැබේය යි කීම තර්කානුකූල නොවේ. දඹදිවට වඩා කලින් මෙ රටෙහි අලුත් අදහස්‌ පහළවීමට තිබුණු බාධාව කුමක්‌ද?" (ලක්‌දිව බුදු සසුනේ ඉතිහාසය වල්පොල රාහුල හිමි (1979) 121 පිටුව)

තවදුරටත් අදහස්‌ දක්‌වමින් වල්පොල රාහුල හිමියෝ මෙසේද සඳහන් කරති.

"අනුරාධපුරයෙහි බෙහෙවින් ප්‍රකට සමාධි පිළිමය දේවානම්පියතිස්‌ස රජතුමා කරවූ, පිළිමය කැයි කෙනකුට ප්‍රශ්න කිරීමට සිතෙනු ඇත. ලෝකයෙහි අන් කිසිම තැනෙක දක්‌නට ලැබෙන අන් කිසිම පිළිමයකට වඩා මෙය වන්දනාකරුවන්ගේ නෙත් සිත් පැහැරගන්නා පිළිමයකි. ජවහර්ලාල් නේරු මෙයට බෙහෙවින් ප්‍රිය කළේය. සිරගෙයි දී "මේ බුදු පිළිමයෙහි ශක්‌තිමත් ශාන්ත ලක්‍ෂණයෙන් මා සනසා මට පිළිසරණ විය." නේරු පවසා තිබේ. මේ දක්‌වා ලෙව් හී සොයාගෙන තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිමාව සමහර විට මෙය විය හැකිය. සාරානාත් බුදු පිළිමයෙහි ද මේ මුහුණුවරම ඇතැයි ඊ. බී. හේවල් මහතා කියයි. එහෙත් මුහුණු දෙක තිබෙන ස්‌වරූපයෙන්ම පරීක්‍ෂකර බලන්නෙකුට ඒ දෙක අතර පවත්නා විශාල වෙනස දැක්‌ක හැකිය. අනුරාධපුර බුදු පිළිමයෙහි ලක්‍ෂණ ගන්වන අව්‍යාජ සරල බවත්, ශාන්ත බලයත්, ධෛර්යයත්, කරුණාකමින් හා ප්‍රසන්න බැල්මකින් හෙබි සාරනාත් බුදු පිළිමයෙහි දක්‌නට නැත. අනුරාධපුර පිළිමයෙහි පිළිබිඹු වන තේජවන්ත, ගාම්භීර භය සම්ප්‍රයුක්‌ත ගෞරවය ජනිත කරවන අතර, සාරනාත් පිළිමයෙහි උද්දීපනය වන ප්‍රාණවත් සෞන්දර්යය, ප්‍රේමය හා ආකර්ෂණීයකත්වයක්‌ උපදවයි. සාරනාත් පිළිමය එය සම්භාවිතාර්ථයෙන් බලන විට, වඩා නීරස හා ශාස්‌ත්‍රීය චිත්‍ර මෙන්ම ලංකා ප්‍රතිමාවෙහි දක්‌නට ලැබෙන ප්‍රසාදජනක සමතාවයෙන් හීන යයි කියන හේවල්ගේ කියමන නිවැරැදිය. අප්‍රචීන වස්‌තුවකින් නිමවා තිබෙන මෙහි අනුකරණකාරකයාගේ අනෙස ප්‍රකාශන ශක්‌තිය නොතිබිණැයි යනුද සත්‍ය නිගමනයකි. (ලක්‌දිව බුදු සසුනේ ඉතිහාසය - වල්පොල රාහුල හිමි (1979) 129 පිටුව - අංක 4 අධෝ ලිපිය)

මේ අතර ii මිහිඳු රජුගේ (ක්‍රි. 952 - 976) පුවරු ලිපිවල සඳහන් වන සෙල්මුවා බුදුපිළිමය දේවානම්පියතිස්‌ස රජු ථූපාරාමයෙහි පිහිටුවනු ලැබූ බුදුපිළිමය විය හැකි යෑයි කල්පනා කළ ආචාර්ය වික්‍රමසිංහ ක්‍රි.ව. 5 වන සියවසේදී µdහියන් හිමියෝ අභයගිරියේදී දුටුවේ මේ පිළිමය බව හඟවයි. (එම 120 පිටුව)

ආසියාවේ බෞද්ධ කලාව පිළිබඳ විශේෂ පර්යේෂකයකු වූ තිරාණගම රතනසාර හිමියෝ, දේවානම්පියතිස්‌ස මහරජතුමා ගල් පිළිමයක්‌ කරවූ බවද එය බුදු පිළිමයක්‌ විය යුතු බවද එවක පටන් ලංකාදීපයෙහි බුද්ධ ප්‍රතිමා ඇති වූ බවද පිළිගත හැකි යෑයි පවසති.

"දේවානම්පියතිස්‌ස රජතුමා (රා.ව. 307 - 367) දී ප්‍රතිමාවක්‌ කරවා අනුරාධපුරයේ, ථූපාරාමයෙහි තැන්පත් කළ බව මහාවංශයෙහි සඳහන් වේ. එවක්‌ පටන් බෝධි මූලයන් හී ආසනයක්‌ මත බුදුපිළිම තැන්පත් කළහ. ඒ අනුව ථූපාරාමය ආසන්නයේ තිබුණු බෝධියක්‌ සමීපයෙහි දේවානම්පියතිස්‌ස රජතුමා බුද්ධ ප්‍රතිමාවක්‌ තනවා තැන්පත් කරන්ට ඇතැයි සිතමි. රා.ව. 266 - 278 දී දෙටුතිස්‌ රජතුමා පාචීන තිස්‌ස පබ්බතයෙහි කරවූ විහාරයක මේ බුද්ධ ප්‍රතිමාව වඩමවාගෙන ගොස්‌ තැන්පත් කළහ. රා.ව. 276 - 304 මහාසේන රජු, පාචීන තිස්‌ස පර්වතයෙහි තිබුණු ඒ මහා බුද්ධ ප්‍රතිමාව අභයගිරි විහාරයෙහි තැන්පත් කරවූයේය. (රා.ව. 341 - 370) බුද්ධදාස රජු බඩේ ගෙඩියක්‌ හැදුණු නාගයෙකුට පිළියම් කොට සුව කළේය. එයින් සතුටට පත් වූ නාගයා සිය නාග මාණික්‍යය රජතුමාට ප්‍රදානය කළේය. බුද්ධදාස රජතුමා මැණික අභයගිරි මහා විහාරයෙහි තිබුණු බුදුපිළිමයෙහි නෙත් පිහිටුවීම පිණිස යෙදුවේය. රා.ව. 461 - 479 දී ධාතුසේන රජතුමා එම බුදු පිළිමය මණ්‌ඩප සහිත මැඳුරක්‌ කරවා පිළිමයෙහි තිබුණු නාග මාණික්‍යය නේත්‍ර යුග්මය නැතිවූ හෙයින් අන් අගනා මැණික්‌ දෙකකින් නෙත් තැබූහ. මේ අනුව දේaවානම්පියතිස්‌ස මහ රජතුමා ගල් පිළිමයක්‌ කරවූ බවද එය බුදුපිළිමයක්‌ විය යුතු බවද එවක්‌ පටන් ලංකාදීපයෙහි බුද්ධ ප්‍රතිමාව ඇතිවූ බවද පිළිගත හැකිය. (ආසියාවේ බෞද්ධ කලා අංක - 2, බුදුපිළිම, තිරාණගම රතනසාර ස්‌ථවිර (1985) සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 23 - 24 පිටු)

මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන් මේ සම්බන්ධයෙන් ඒකමතික නොවෙති. උන්වහන්සේ දැක්‌වූයේ මෙබඳු අදහසකි.

"ලංකා ඉතිහාසය අපට පෙන්වා දී ඇති කරුණු අනුව ප්‍රථම බුද්ධ රූප නිෂ්පාදනය සිංහලයා බැව් පැහැදිලි යෑයි මහාචාර්ය සිරි ගුණසිංහ, සී. ටී. දේවේන්ද්‍ර යන මහත්වරු පළකර සිටියහ. මෙයින් සිරි ගුණසිංහ මහතාගේ නිගමනය බොහෝදුරට තර්කානුකූලය. අප කාටත් පෙනීයන පරිදි මහාවංශ කතුවරයා එක එල්ලේම කියා ඇත්තේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ ධාතු ගර්භය තුළ කරවනු ලැබූ නිධන් අතර බුදුපිළිමය කරවූ බවයි. මීටත් පෙර දේවානම්පියතිස්‌ස රජු විසින් ථූපාරාමයේ කර වූ බුදු පිළිමයක්‌ 1 වැනි දෙටුතිස්‌ රජතුමා විසින් පාචීන තිස්‌ස පබ්බත විහාරයේ තැන්පත් කරවන ලදැයි යන ප්‍රකාශයක්‌ද මහාවංශයේ සඳහන් විය. එහෙත් මේ ප්‍රකාශය පිළිගැනීමට බොහෝ දෙනා අකැමැති වූහ. මක්‌නිසාද දේවානම්පියතිස්‌ස රජුගේ ශාසනික කටයුතුවලදී දැක්‌විය යුතු මේ කාරණය එහි නොදැක්‌වීමත්, එයින් අවුරුදු පන්සියයකට පමණ පසු දෙටුතිස්‌ සමයට ඈඳීමත් නිසාය. මෙය ප්‍රතිමාවේ අගය වැඩිකිරීම පිණිස රටේ පැවැති කටකතාවක්‌ මහාවංශ කතුවරයා කීවේද? නොඑසේ නම් ඒ සිද්ධිය ප්‍රකාශිත ගාථාවට වැරැදි ලෙස අර්ථකථනය කිරීමද යනු එහි නැගෙන ප්‍රශ්නයයි. මහාවංශය 37 පරි( 128 වැනි ගාථාවේ දැක්‌වෙන "සුපතිට්‌ථාපිතං" යන්න "සුපතිට්‌ථාපිතේ" කියා තිබුණේ නම් දේවානම්පියතිස්‌ස රජු විසින් කරවූ ථූපාරාමයෙහි යෑයි අර්ථකථනය කිරීමට හැකිය. මෙහිලා එක්‌ කරුණක්‌ වේ. එනම් මෙහි "උරුසිලාපට්‌ට" යන තැන්හී "උරු" යන විශේෂණයයි. එහි තේරුම "මහගල් පිළිමය" යනුයි. එවකට ගලින් කළ විශාල පිළිමය මෙය විය යුතුය. එසේ නම් ඊට පෙර මෙයට කලින් කළ කුඩා බුදු පිළිම තිබිය යුතුය." (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය - (1890 - 1990) සමරු පොත් පෙළ - හතරවන වෙළුම - මූර්ති කලාව - ශ්‍රී ලංකාවේ කැටයම් හා මූර්ති - ආචාර්ය කඹුරුපිටියේ වනරතන මහානායක හිමියන්ගේ ලිපිය - 21 පිටුව)

මේ අතර "සමහර බුදුපිළිමවලට එකිනෙකට විශේෂ වූ නම් තිබිණි. වංස කතාව විෂය කොටගෙන මේ පිsළිමයන්ගේ ඉතිහාසය සොයා බැලීම සිත්ගන්නාසුලුය. ඉතාමත් ප්‍රසිද්ධ වූ පිළිමය සිලා සම්බුද්ධ නම් විය. මෙය ක්‍රි.පූ. දහවැනි සියවසේදීම, දේවානම්පියතිස්‌ස රජු විසින් සාදවා ආරාමයට පුදන ලදැයි ජනප්‍රවාදය අනුව පිළිගැනුණේ යෑයි විල්හෙල්ම් ගයිගර් පවසයි. (මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතික - පරිවර්තනය ඇම්. බී. ආරියපාල - (1969) 148 පිටුව)

ලෝකයේ සුවිශේෂ බුදු පිළිමයක්‌ වූ අනුරාධපුර සමාධි බුදුපිළිමය පිළිබඳ කෙරුණු මෙම කෙටි විස්‌තරය, ඊට ප්‍රස්‌ථාවනාවක්‌ පමණි. මේ පිළිබඳව විද්වතුන්ගේ අදහස්‌වලට ඉඩකඩ සලසමින් මම නිහඬ වෙමි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.